Monday, December 26, 2011

මේ මගේ සඳයි - ප්‍රවේශය

මුදාවෙන් පැනල එන සොල්දාදුවෙක් පිටුපසින් සිංහල ගමකට ඉතිහාසයක් නැති තරුණියක් එනවා. 

යුද්ධය තදින් ඇවිලීගිය පරිසරයක පිහිටි හමුදා බංකරයකට ජීවිතාරක්ෂාව පතා පැන්නක වීමත්, නළලේ පොට්ටුවක් තිබීමත් නිසා සැකයක් නැතිවම ඈ දෙමල. 

ඉතිහාසයක් නැති දෙමලියක්.....!

ඇගේ නම මොකද්ද? ඇය එල්ටීටීඊ සෙබලියක්ද? ඇගේ දෙමාපියන් ඉන්නවද? යුද පුහුණූව ලැබූවෙක්ද? පෙම්වතෙක් ඉන්නවද? රාජ්‍ය භාෂා පණත මගින් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවද? දෙමල වීම නිසාම ඇතිවූ විශේෂ ප්‍රශ්න තියෙනවද? 13 වෙනි ව්‍යවස්ථෘ සංශෝධනය......???
______________________________________________
පෞද්ගලිකව නම් මම කැමතිම සිංහල චිත්‍රපට මොනවද කියල කවුරුහරි ඇහුවොත් එච්චර ලොකු ලැයිස්තුවක් නම් නැහැ. එකට තියෙන්නෙ 'හංස විලක්'. ඊළඟට 'මේ මගේ සඳයි'. තව කිහිපයක් තියෙනවා.

'මේ මගේ සඳයි' චිත්‍රපටය ප්‍රදර්ශනය වුනේ සම්මත සිනමා ප්‍රදර්ශන රටාව අනුව නෙමේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන වැඩපිළිවෙලට විරෝධය දැක්වීමක් වශයෙන් හඳගම මෙම සිනමා පටය චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයකට භාරදීම ප්‍රතික්ෂේප කලා. ඔහුගේ චෝදනාව වුනේ උසස් සිනමා කෘති ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් ප්‍රේක්ෂක ආකර්ශනයක් තිබියදීම උනත්, බොහෝ සිනමාහල් හිමියන් ප්‍රේක්ෂකයන් නොඑන බව පවසා දින කිහිපයක් ඇතුලත ඒවා ගලවා දමන බව. මෙයට හේතුව ලෙස ඔහු දැක්වූයේ එම වකවානුව (2000) වන විට ප්‍රේක්ෂකයන් පිරී ඉතිරී යමින් තිබූ අවර ගණයේ බටහිර වැඩිහිටි චිත්‍රපට ප්‍රදර්ශනය කොට වැඩි ලාභයක් ලැබීමට සිනමාශාලා හිමිකරුවන් පෙළඹීම සහ චිත්‍රපට සංස්ථාව ඒ වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් නොකිරීම.
 කොහොම උනත් හඳගමගේ කැරැල්ල කවදත් වගේ හුදකලා කැරැල්ලක් බවටම පත්වුනා කියලයි මට හිතෙන්නෙ. චිත්‍රපටය ප්‍රදර්ශනය වුනේ හඳගමගේ හිතවතුන්, රසිකයන් සහ උසස් සිනමාවට ලැදි පිරිස් විසින් දිවයිනේ තැන් තැන්වල දර්ශන සංවිධානය කිරීම මගින්. මෙමගින් වුනේ බහුතර ප්‍රේක්ෂක පිරිසකට මේ චිත්‍රපටය නරඹන්නට නොහැකිවීම.

ඒ වගේම පැවති යුද-දේශපාලනික වාතාවරණය තුල මේ චිත්‍රපටයට එල්ලවූ විරෝධයත් සුළුපටු නැහැ. නමුත් ඒවගේම ජාත්‍යන්තරව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අවස්ථාවලදී දෙමල ජාතිවාදීන් මෙය ඔවුනගේ අදහස් තහවුරු කිරීමට යොදාගැනීමට උත්සාහ කිරීමකුත් දක්නට ලැබුනා. එය ඉතා කණගාටුදායක තත්වයක්.

මෙම චිත්‍රපටයේ විශේෂතා කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි මෙය ඩිරෙක්ට් සවුන්ඩ්  ක්‍රමයට නිෂ්පාදනය වීම. එනම් නැවත ශබ්දාගාරයකදී හඬ කැවීමකින් තොරව රූගත කරන අවස්ථාවේදීම හඬ පටිගත කිරීම. ඒ වගේම මෙහි තිබෙන්නේ මුළුමනින්ම නිශ්චල රූප රාමු. කැමරාව චලනය කිරීම හෝ දර්ශනය සූම් කිරීම් වගේ තාක්ෂණික හරඹ ඇත්තෙම නැහැ. මේ ගැන හඳගම කිව්වෙ අපූරු කතාවක්. ඔහු කිව්වෙ මේ චිත්‍රපටයට භාවිත කලේ විහාර බිතු සිතුවම් සම්ප්‍රදාය බව. විහාර සිතුවම් වල බෞද්ධ සාහිත්‍යයේ යම් කතාවක් පිළීවෙලින් එක් එක් රාමු තුල ඇඳ ඇති ආකාරයටම, මෙම චිත්‍රපටයේද නිශ්චල රාමු තුල විවිධ සිදුවීම් පෙලගස්වා තිබෙනවා.  මෙය මටනම් ඉතා සුන්දර අත්දැකීමක්.
 අනික මේ චිත්‍රපටයේ අවකාශය මිසක කාලය තැකීමක් කරන්නෙත් නැහැ. විහාර බිතුසිතුවමක එක් රූප රාමුවක් තියෙන්නෙ ජූජක බමුණා දරුවන් ඉල්ලීම. ඊළඟ රූප රාමුව වද දෙමින් දරුවන් රැගෙන යාම. මේ චිත්‍රපටයේ රූප රාමුත් මේ වගේමයි. එකක කියනවා 'ගිහින් බයිසිකලේට නැගපං' කියලා. ඒ ක්ෂණයකින් ඊළඟ රූපරාමුව බයිසිකලයට නැගල ඉන්න එකක්. ටිකක් කල්පනාවෙන් බලං ඉද්දි මේක හරි අපූරු වැඩක් වගේ දැනෙනවා :). අනික ෆිල්ම් එකේ දර්ශන කිහිපයක් ඇරෙන්න ඉතිරි සියල්ලම රූගත කරල තියෙන්නෙ Daylite.

මේක ලෝ බජට් කරපු ෆිල්ම් එකක්. ඒ කාරණෙත් එක්ක බලද්දි නම් මේ වෑයම විශිෂ්ටයි. අර කියපු විශේෂතා වලටත් ඒක හේතුවක් වුනා කියලයි හඳගම කිව්වෙ. මේ ඔහුගේ වචන

" නමුත් අද සිනමාව කරන්න වෙලා තියෙන්නේ සම්බාධක ඇතුළේ. එහෙම සිනමාව කරනකොට අපිව රකින්න ප්රාග්ධනයක්නැහැ. ප්රාග්ධනය හැම වෙලේම ලාභය ඉල්ලා සිටිනවා. ලාභය ඉල්ලා නොසිටින ප්රාග්ධනයන් නැහැ. එතකොට අපට සිද්ධ වෙනවා සීමාකාරී තත්ත්වයන් යටතේ සිනමාව කරන්න. උදාහරණයක්විදිහට මගේ "මේ මගේ සඳයි" කරනකොට මට තිබුණු සීමාවන් තමයි සල්ලි. ට්රැක්ඩොලි, ලොකු ලයිට්අරන් යන්න සල්ලි මට තිබුණේ නැහැ. නිසා මම පිටපත ලියන්නෙම Daylite එකට. එතකොට එකෙ track movement මොකක්වත් නැහැ.  ඒ මොකක්වත් නැති සරල චිත්රපට ආඛ්යානයක්මම හොයා ගන්නවා."

කොහොම වුනත් මීට අවුරුදු 11 කට කලින් මේ චිත්‍රපටය බලපු තැන නෙමෙයි මම අද ඉන්නෙ. විවිධ තාක්ෂණික අඩුපාඩු වගේම දෘෂ්ටිමය නොඑකඟතා ගොඩක් තියෙනවා. කොහොම උනත් මම මේ චිත්‍රපටයට එදාතරම්ම ආදරෙයි. ඒකට හේතුව විශේෂයි. ඒ වකවානුවේ මා වටේ පුපුරා හැලෙන ජීවිත/දේපල මෙන්ම ආන්ඩුවේ සහ පත්තර මුදලාලිලාගේ බොරු වලින් පමණක් යුද්ධය තේරුම් ගනිමින් සිටි මට, පළමුවරට දුරස්ථ රූපයක සිට යුද්ධය කියන විකාරය පෙන්වූයේ මේ චිත්‍රපටය නිසා. පුපුරා හැලෙන්නේ මා අවට දේවල් පමණක් නොවන බව ඒත්තු ගැන්වූයේ මේ චිත්‍රපටය නිසා......
 'මේ මගේ සඳයි' චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වූවා. 
මෙයින් පළමු සම්මානය හිමි වූයේ 2001 ඇමෙරිකාවේ 43 වැනි හූස්ටන් අන්තර් ජාතික චිත්රපට උළෙලේ බ්රොන්ස්රෙමි සම්මානයයි. මෙම චිත්රපටයට තවත් සම්මාන තුනක් එම වසරේම එකම මාසයකදී (මැයි) හිමිවීම විශේෂත්වයක්. කොරියාවේ දෙවැනි ජොන්ජු අන්තර් ජාතික චිත්රපට උළෙලේ හොඳම ආසියානු ස්වාධීන චිත්රපටය සඳහා වන සම්මානය හා 14 වැනි සිංගප්පූරු අන්තර් ජාතික චිත්රපට උළෙලේ හොඳම චිත්රපටය සඳහා පිරිනැමෙන තරුණ සිනමා සම්මානය හා නෙට්පැක් හා ෆිප්රෙස්කි යන සංවිධාන දෙක ඒකාබද්ධව පිරිනමන විශේෂ සඳහනයි.එසේම මෙම චිත්රපටය 2001 ඉන්දියාවේ පැවති දිල්ලි ජාත්යන්තර චිත්රපට උළෙලේ දී සිනේෆෑන් සම්මානයද, 4 වැනි බැංකොක් අන්තර් ජාතික චිත්රපට උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනා ගත්තා. එමෙන්ම 2001 ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීත් Asian Film Award - Special Mention සම්මානයටද පාත්‍රවූවා.
 
චිත්‍රපටය ගැන මට හිතෙන දේවල් කොටස් කීපයකින් ඉදිරියට ලියන්න හිතං ඉන්නවා. තව චමිල සහ මාලනුත් ලියනව කිව්වා. අවුටාටත් ලියන ලෙස දන්වා මරණ තර්ජන මේ වනවිටත් යවා ඇති බව සැළයි.  මෙය කියවන සහෝදර ඔබටත් ආරාධනය කරනවා මේ සංවාද අවකාශයට එකතුවන්නට. දහසක් මත ගැටී දහසක් මල් පිපීම උදෙසා........... 

'මේ මගේ සඳයි' බලන්න........

___________________________________________________

ප/ලි -
1. මේ චිත්‍රපටයේ නාමාවලිය ආරම්භයේදීම අපේ විමල් වීරවංශ මහත්තයටත් හඳයා තැන්කූ පාරක් දීලා. ඒ අහවල් කාරියක් හින්දද කියල අහගන්ඩ හඳයව කන්ටැක්ට් කරගන්න ට්‍රයි එකක් දුන්නත් බැරිවුනා. අනිවා පස්සෙ අහල දාන්නං.

2. මේ ගොඩක් දේවල් ලිව්වෙ මතක විදිහට. මේ තොරතුරුවල යම් වරදක් තියෙනවනම්  කරුණාකරල නිවැරදි කරන්න
3. මේවා ලියන මම/මාලන්/චමිල/අවුටා ඇතුළු අහිංසක මනුශ්‍ය ප්‍රාණින් පිරිස සිනමාව ගැන ක්‍රමවත් හැදෑරීමක් කල හෝ සිනමා විචාරකයින් හෝ නොවන සාමාන්‍ය සිනමා රසිකයන් පමණක් බවද ප්‍රකාශයට පත්කොට සිටිමු.

Tuesday, December 13, 2011

නන්දිකඩාල් කලපු දියේ සඳ දිය වෙනවා බලන්න...


නන්දිකඩාල් කලපුව කියන්නෙ අපේ මිනිස්සුන්ගෙ ජයග්‍රාහී භූමියක්. ඒක මොන වගේ තැනක්ද කොහේ තියෙනවද කියල නොදන්න අයත් ඒක ගැන නිතරම කියවනව ඈත ගම්දනව් වල පවා.
පහුගිය කාලෙ ලංකාවෙ ජනප්‍රියම ස්ථානය වුණේ නන්දිකඩාල් කලපුවයි.
ඒක හරි,
එතනින් එක යුගයක් අවසන් වුණා. අලුත් යුගයක් පටන් ගත්ත.
ඒත් ඒ අලුතින් පටන් ගත්ත යුගය, අතර මැද පටන් අරන් අවසන් වුණු යුගයට පෙර පැවැති යුගය බවට පත්විය යුතු බව යහපත් මිනිස්සුන්ගේ ප්‍රාර්ථනයයි.
ඒ ප්‍රාර්ථනය සිහිනයක් නොවී සැබෑවක් වෙනු දකින්න හැකිනම් මේ රටේ මිනිස්සු වාසනාවන්තයි.
ඒ සංක්‍රාන්ති සමයෙන් ඔබ්බට අපිට දැන් අලුත් සිහිනයක් තිබිය යුතුයි. ඒ සිහිනය සුනිල් එදිරිසිංහයන්ගේ මුවින් ගැයෙන්නේ මෙලෙසිනි. මේ ගීතය ඇසුණත් මෙහි පදවැලේ තියෙන ඒ ප්‍රාර්ථනයේ සුන්දරත්වය නැවත වරක් විමසා බලනු වටියි.

නන්දිකඩාල් කලපු දියේ සඳ දියවෙනවා බලන්න
චුන්ඩිකුලම් තුරු මඩලින් ඉර පායනවා බලන්න
සයිවර් කඩයක ඉඳගෙන දෙමළ සිංදුවක් අහන්න
අපි ආශයි ඔබත් එක්ක ජීවිතයම බෙදා ගන්න...

ඉරණමඩුවෙ වැව වාගේ සෙනෙහස උතුරලා යන්න
අරියාලේ තුඩුව ළඟින් පරණ පාර අලුත් වෙන්න
සංගිලියෙත් නාඩගමෙත් මෘදංග ගී නද අහන්න
අයියකච්චියේ ළිංවල පිරිසිදු පැන් පොඳක් බොන්න...

ගිනිගත් තල් කරටි වලට වැහිදිය අහුරක් හෙලන්න
නව දඵලන මනුස්සකම අතු ඉතිලා පැතිර යන්න
නල්ලූර් කෝවිලේ ශුද්ධ මුරුගන් දෙවියනි අහන්න
එක්ව නගන සීනු හඩින් කරුණා ගගූලක් ගල්න...

ගී පද - ගයා රම්‍ය ද අල්විස්
ස්වර රටා - අසේල බණ්ඩාර

ඒ ප්‍රාර්ථනයට මෙතනින් සවන් දෙන්න.

කලාකරුවන්ගේ සමාජ වගකීම මනුෂ්‍යත්වයට ඇමතීම මිස පටු පක්ෂපාතීත්වය වෙනුවෙන් සමස්ත මනුෂ්‍යත්වය බෙදීමට හවුල් වීම නොවේ. එහෙත් අද ලංකාවෙනම් බහුතර කලාකරුවන් අතින් එය සිදු වන්නේද යන්න ප්‍රශ්ණගත කරුණක් තමයි.




ප.ලි. සුනිල් එදිරිසිංහයන්ගේ අවසානයට නිකුත් වූ ගී සරණිය වන මල් වැහි පොඳ හිරිකිතයක් නැතුව අහන්න පුඵවන් ගී සරණියක් බව කිව යුතුයි. එහෙත්  මාධ්‍ය වල තවම ප්‍රචාරය වෙන්නේ එහි ඇති එකක් දෙකක් ගීත විතරද කියලත් හිතෙනව. එක අතකින් කළාකරුවෙක්ගේ වෙහෙස මහන්සියට සීඩී තැටියක් විකුණ ගන්න එසේ ප්‍රචාරය නොවීමත් හොඳක් වෙයි. ඒ වගේම මෙම ගීත උසස් මට්ටමින් ශ්‍රවණය කරන්න මල් වැහි පොඳ සීඩී තැටියක්ම මිළදී ගත යුතු බවද කිව යුතුය.


Tuesday, December 6, 2011

මුදුනට නැගීමේ ආහ්ලාදය....

(එච්.ඒ. කරුණාරත්න කලාකරුවා සමඟ කේ.ඩබ්. ජනරංජන කල කතාබහක්)

ලංකාවේ චිත්‍ර කලාවට වියුක්ත ප්‍රකාශන ආර හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් ප්‍රවණතාවක් ලෙස හඳන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඔබ. ආපස්සට හැරී බලන විට ඒ ගැන මොකක්ද හිතන්නේ?

ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ ඇත්තක් ප්‍රකාශ කරන්න හදන අවස්ථාවක්. ඇත්ත ප්‍රකාශ කරන්න බැහැ දවසකින් දෙකකින්. මුළු ජීවිත කාලයේම පළපුරුද්දක් තියෙන්න ඕනෑ ඇත්ත හොයාගෙන යන්න. ඒ වගේම ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ කෙනෙකුට ඇහෙන් බලලා රසවිඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ හරහා මනසට යන්න ඕනෑ. මනසින් රස විඳින්න ඕනෑ. ඇහින් දකිනවා කියන එකයි, මනසින් දකිනවා කියන එකයි පරස්පර විරෝධියි. ඇහින් විතරක් දකින, එතැනින් නතරවෙන පුද්ගලයාට ප්‍රශ්න තියෙනවා. මේ මොකක්ද, මොකක්ද මේකෙ තේරුම, කතාව මොකක්ද යනාදී ප්‍රශ්න ඔහුට තියෙනවා. කලාව කියන්නේ ප්‍රශ්න අහන එකක් නෙමෙයි. වින්දනයක් ලබන දෙයක්. වින්දනයක් ලබන්න නම් ඇහැ පරයා මනසට යන්න ඕනෑ. ඇහෙන් දකින ප්‍රද්ගලයාට සාමාන්‍ය ද්‍රව්‍යමය දෙයක වර්ණයක් පෙනෙන්නේ නැහැ. මේ ළඟ තියෙන පුටුව ගැන බලන්නකෝ. ඇහෙන් දකින පුද්ගලයාට මේකෙ වර්ණයක් නැහැ. එයාට ඕනෑ නම් ලැකර් ටින් එකක් අරන් ඇවිත් මේකෙ නිල්පාට, රතුපාට, කොලපාට ගෑ හැකියි. ඒකට හේතුව එයා ඇහැ පමණක් පාවිච්චි කරන නිසා. නමුත් මනස පාවිච්චි කරන පුද්ගලයාට මේකම තමයි රස.

ගඟක් අද්දරට ගියොත් අපට පෙනෙනවා, රැලි නැගෙනවා, කුඩා ගල් කැබලි වතුර පාරට  පෙරලි පෙරලි යනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ගිහින් මේ ගල් කැබැල්ලක් ගන්නවා ඇහෙන් දැකලා. තවත් පුද්ගලයෙකු ඒ ගලම ගන්නවා. එයා ඒකත් එක්ක සංවාදයක යෙදෙනවා. කතාවක් නැතිවම  පැත්ත හරව හරවා බලමින් වින්දනයක් ලබනවා. එයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය කරන්නේ කියලා, දෙන්න උත්තරයකුත් නැහැ. විස්තර කරන්නත් බැහැ. තම තම නැණ පමණින් තමයි දැනගන්න ඕනෑ. ඒ තමයි අර වින්දනය. රසය විඳිනවා කියන්නේ ඒකයි.

ඔබ කියන ආකාරයේ රසවත්වීමක් සඳහා රසිකයාත් දියුණු කරන ලද මනසක් සහිත විය යුතුයි....?

ඒක ඇත්ත වශයෙන්ම ලබාගත යුතු දෙයක්.නිර්මාණ කාරයන්ට දෙන්න පුළුවන් දෙයක් නොවෙයි. එයා ලබපු අත්දැකීම් අනුව, එයා ඉන්න ස්ථානය අනුව තමයි එයාගෙ රසවින්දන මට්ටම තීරණය වෙන්නෙ.

නිර්මාණකාරයෙකු තම නිර්මාණය රසවත් කිරීමට ගන්නා උත්සාහය ඔබට පෙනෙන්නේ කොහොමද?

මේක මහ කන්දක් නගිනවා වගේ වැඩක්. කන්ද නගිනකොට අතරමැදදී තියෙන ගහකොලං, සත්තු, දියපහරවල් වගේ ඔක්කොම ජාති ළඟින් පෙනෙනවා. ඒත් ක්‍රම ක්‍රමයෙන් උඩට නගිනකොට ඒවා වෙන් වෙන් වශයෙන් පෙනෙන්නේ නැතිව යනවා. අපෙන් ඈත් වෙනවා. එතැන් සිට සමස්තයයි පෙනෙන්නට පටන්ගන්නේ. මුළු විශ්වයම එකක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නේ.  ඒක තමයි සරළවීම කියන්නේ. සරළ වීම ශ්‍රේෂ්ඨයි. නමුත් ශ්‍රේෂ්ඨත්වය සරළ දෙයක් නෙවෙයි. වර්ඩ්ස්වර්ත් කියා තිබෙනවා, ස්වභාව ධර්මය ඔබේ ගුරුවරයාය කියලා. අපි එය අමතක නොකල යුතුයි.

සාමාන්‍යයෙන් පින්තූරයක් දිහා බලලා කෙනෙක් මොකක්ද කියලා අහනවා. ඒත් අපි මලක් දිහා බලලා අහනවද මේකෙ තේරුම මොකක්ද, මේකෙ පාට ඇයිද කියලා. අපි කරන්නේ වින්දනයක් ලබන එක. ගඟක පෙණ නැගෙනකොට, තිත්ත පැටව් නටනකොට අපි අහන්නෙ නැහැ තේරුම මොකක්ද කියලා. වින්දනයක් පමණයි ලබන්නේ. වින්දනය එක එක්කෙනා විවිධ මට්ටමින් කරන්නේ. හොඳ වින්දනයක් සඳහා දීර්ඝ ගමණක් ඇවිත් තියෙන්න ඔනෑ. රසවින්දනය ලබන පුද්ගලයාටත්  අපි වගේම දීර්ඝ ගමණක් යන්න තියෙනවා. ගලක් උඩ එකපාරක් දෙපාරක් ඇවිද්දාම පාරක් හිටින්නේ නැහැ. ඒත් සෑහෙන පාරක් ආවා ගියාම පාරක් සටහන් වෙනවා. ඉතින් ඒක උත්සාහ‍ය පිළිබඳ කාරණයක්.

ලෝකයේ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් නිර්මාණ කරනවා විතරක් නෙවෙයි.තමන්ගේ නිර්මාණ වෙනුවෙන් වාචිකවත් පෙනී සිටිමින් ඒ ගැන කියනවා. ලියනවා. මෙතැනදී ඔබ අදහස් කරන්නේ එවැනි පෙනීසිටීමක් අවශ්‍ය නැහැ කියලද?

මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් දාන්න ඕනෑත් නැහැ. මොකද අපි නිදහසේ අඳිනවානම් රසවිඳින පුද්ගලයාටත් නිදහසේ රසවිඳිය හැකි විය යුතුයි. සීගිරි ගලේ නිර්මාණ කල පුද්ගලයාට, සමාධි පිළිමය කල පුද්ගලයාට ඕන නම් ලියන්න තිබුණා මේ අහවල් නිර්මාණයයි, මගේ නම මේකයි කියලා. ඒත් එහෙම දෙයක් කරලා නැති නිසා, අපි  කොච්චර ඒ නිර්මාණවල රසය විඳිනවද? නිර්මාණකරු සොයායාමත් කලාවේ එක්තරා රසයක්. ඒක හරි අමාරු ක්‍රියාවක්.

අපි චිත්‍ර අඳින්නේ කාටවත් පෙන්නන්න නෙවෙයි. මම අදින්නේ මටම රසවින්දනයක් ලබා ගන්නයි. මම හොඳට කෑමක් හැදුවොත් අනික් අයත් රසයි කියාවි. හදන වෙලාවෙ ඒක තිත්ත වෙන්න පුළුවන්. ඒත් ටිකක් කනකොට ඒ තිත්ත රසය පහවෙලා යන්නට පුළුවන්. කලාකාරයෙක් පින්සල්, පැන්සල් අරන් කරන්නේ මැජික් පෙන්වීමක් නෙවෙයි. කිසියම් වින්දනයක් ලබා දීමයි කරන්නේ. තමන්ටම තමයි එහි ප්‍රතිඵලය අත්වන්නේ.

ඔබ කැන්වසය ඉස්සරහට යන්නේ නිර්මාණය ගැන දළ අදහසක් ඇතිවද? නැතිනම් කැන්වසය මත වැඩකිරීම හරහාද මුළුමණින්ම නිර්මාණය ආරම්භ වී ගොඩනැගෙන්නේ?

අදහස කියන එක තමා ලබපු අත්දැකීම් සම්භාරයෙනුයි එන්නේ. ස්කෙච් ගහගෙන, කතාවක් ලියාගෙන ඇවිත් මේක කරන්න බැහැ. නිර්මාණය කියන එක ක්ෂණිකව එන දෙයක්. හදවතිනුයි එය එන්නට ඕනෑ. හරියට විදුලි කොටනවා වගේ. පොඩි ලමයෙක් හිනා වෙනකොට අපි වශී වෙනවනේ. ඒක ක්ෂණිකව හදවතින් එන බව අපි දන්න නිසා. එයා අභ්‍යාසය ආරම්භ කරන නැවුම් තැනයි ඒ. එතනදි හරිම පිරිසිදුයි. ඇත්තයි ප්‍රකාශ කරන්නේ.

චිත්‍ර ඇතුළු හැම නිර්මාණයක්මත් එහෙමයි. කල්තියා ප්ලෑන් කරලා, අහවල්ලු පිළිගත්තා කියලා, ඒකට වහල්වෙලා නිර්මාණ කරන්න බැහැ. ඒ වගේම ඒකට තමන් ළඟ ශක්ති සමුදායක් තියෙන්නට අවශ්‍යයි. අපි ලණුවක් ඇදලා, අනිත් අය පනින නිසා මටත් පනින්න පුළුවන් කියලා හිතුවාට පනින්න බැහැනේ. ඒකට පළපුරුදුකම් සම්භාරයක් තිබිය යුතුයි.

ඒක ආධ්‍යාත්මිකව අරගෙන එන දෙයක්ද? පුද්ගලයෙකුට ආභාෂය හරහ වඩාගත හැකි දෙයක්ද?

ඒක ඇතුළතින් ගොඩනැගෙන දෙයක්. දවසකින් දෙකකින් එය ගොඩනැගෙන්නේ නැහැ. මනස හරහා අභ්‍යාසයෙන් තමයි ඒ පළපුරුද්ද ගොඩනැගෙන්නේ. බුද්ධත්වයට පත්වෙනවා කියන්නේ මනස ඉහලම තැනට ගෙනයෑමයි. මම ළඟදී දඹදිව ගිහින් සියළු වන්දනීය ස්ථාන බැලුවා. ඒවා බැලුවාම අමුතුම හැඟීමක් එන්නේ.

(2011 නොවැම්බර් 27 දින රාවය පුවත්පතේ පළවූ ලිපියකින් උපුටාගත් කොටසකි)


Monday, December 5, 2011

සකුරා මල්, සුලඟේ වෙලී, පාවී විසිරේ...

සකුරා......මේ මං කැමතිම ජපන් සින්දුව. සකුරා ගස් වල මල් තියා කොලයක්වත් නැති සීතල කාලෙක මේකට මං මෙච්චර කැමතිවුනේ ඇයි කියල හිතාගන්ඩ බෑ. ඒත් ඒ සකුරා මතකය ඒ තරම් ප්‍රභලයි.

මේ සින්දුව කියන්නෙ ඉකිමොනො ගකරි (Ikimono Gakari) කියන සංගීත කණ්ඩායම. මේක මෙයාලගෙ මුල්ම සින්දු වලින් එකක්. 2006 විතර. මේ වීඩියෝව මෙයාලගෙ සජීවී ප්‍රසංගයකදි පටිගතකරපු එකක්. ඒත් මේක තමයි මට ගොඩක්ම දැනුනෙ.

පුලුවන් විදිහට මේ සින්දුවේ අදහස සිංහලට පෙරලුවා. ඒ වෙනුවෙන් උදව් කරපු මිනකො ත්සුකෙන්(Minako Tsuken) මිතුරියට මගේ ස්තූතිය.


සකුරා මල්
සැලෙමින් බිමට වැටේ
මගේ ආදරයේ
බිඳුවක් ගානේ
මුදු පිරිමදිමින්
සකුරා මල් විසිරේ....
අදත් ඒ සිහිනය,
ඔබ හා
වසන්තයේ දුටු සිහිනය,
දකිමි.
සකුරා මල්
සුලඟේ වෙලී
පාවී විසිරේ...

දුම්රියේ සිට බලමි
අතීත මතක පිය මග
දෙදෙනා එක්ව ඇවිදගිය
වසන්තයේ පාලම.
ශිල්ප නිමකර ඔබ
ගඟ බඩ මග දිග
නගරය හැර ගිය
ඒ දවස සොයන්නෙමි.

වසන්තයට අත වනා
අපි අපේ මාවත් වල
පියමැන ගියෙමු.
මල්බර අනාගතයක
දොරකඩ අබියස
නොඉවසිල්ලෙන්
හිඳින්නෙමි.....
එනමුත්,
ඔදක්යූ දුම්රියේ
වීදුරුව මත
සකුරා මල් වල
චායාව දැක
මගේ හදගැබ තුලින්
ඔබේ කටහඬ ඇසේ...

මගේ හසුනේ
පළමු වචන පෙල
"මං හොඳින්"....
කියන්න,
ඔබ එයට රැවටුනද?
අපි යලි යලිත්
පියමැනූ ඒ මාවත
මේ අවුරුද්දෙත්
වසන්තය පිළිගෙන
සකුරා පුබුදුවා
ඇති සැටි බලන්න.

ඔබ නැතිවත්
මා දිවි ගෙවාවි
මා සවිමත්
ගැහැනියක්ව වැඩේවි
ඒත් ඒ සියල්ල
අමතකවෙලා යාවිද?
"මං ඇත්තටම ආදරය කලා"...
මම
සකුරා වලට අත පාමි
ඔව්,
දැන් මගේ ඒ ආදරය
මේ වසත් සුලඟතර
වෙලී පැටලී ඇත

ඔබ කියූ ඒ වදන්
තවම මා හදතුල
ගැඹුරේ
නිදන්වී ඇත.
ඒ දුර ඈත
වසන්තයේ මැද
සිහින මැවූ දවස
හිස් අහසේ පාවී
මැකී යයි...
මා පොරොන්දු වූ
ඒ සිහිනය
පපුවට තදින්
තුරුලු කරගමි.

සකුරා මල්
සුලඟේ වෙලී
පාවී විසිරේ...