Saturday, November 6, 2010

‘සුළඟ එනු පිණිස’ නැවත බැලීම

පෙර සටහන:
දවස් දෙක තුනකට කලින් චාර්මිගෙන් ඊමේල් එකක් ලැබුනා. පින්තූර වගයක් එක්ක තවත් ෆයිල් එකක් අමුනලා තිබ්බා ඒ එක්ක, සුදුසු නම් මේ බ්ලොග් එකේ පළකරන්න කියලා. මීට වඩා සුදුසු දේවල් කොහෙන්ද කියලා මට එක පාරටම හිතුනෙ. මේක ඇත්තටම ටික දවසකට කලින් අපි කතාකරපු දෙයක් සම්බන්ධ වැඩක්. ඉතින් මේක ඉතා ගෞරවයෙන් යුතුව පළකරනවා. ඔහු විසින් හොඳ සුළඟකට කවුලු පියන් හැර ඇති බවක් මට හැඟෙනවා. ඔබට බොහොම ස්තූතියි චාර්මි....!!!
-------------------------------------------------------------------------------------------------










පහුගියදාක අ‍පේ සිඟිති සිනමා කවය කාලාන්තරයකට පස්සෙ ආපහු සෙට් උනා. අපි මෙතෙක් කල් පාවිච්චි කරපු පරණ ගල්මෝලක සිරිය ගත් හිතාචි ප්‍රෙජෙක්ටර් කබල දිවංගත උනාට පස්සෙ වැඩේ නැවතිලා තමා තිබුණේ. සුජියා ගිහින් කොහෙන්ද මන්දා රුපියල් පන්සීයකට දහසක් කොන්දේසි සමඟ ප්‍රොජෙක්ටර් බට්ටෙක් හයර් කරන් ඇවිත් තිබුනා. දන්නවනේ.... ලොකු මස්සිනාලා ඉතාලි ඉඳං එවන හෙනට වටින රට බඩුනේ ඕවා. අනික ඉඳලා හිටලා ‘ගැහැණු ලමයි’ බලන්ඩ ඇරුණහම අල්මාරියෙන් එලියට ගන්නෙ අපි වගේ කරදරකාරයෝ ඉල්ලුවොත් තමා.ඊට පස්සෙ බලන්ඩ තැනක් නෑ. මොකද අපි සෙට් උනේ ‘සුළඟ එනු පිණීස’ බලන්ඩ. ඉතිං ඒකෙ තියෙන 'දෙයියොත් එක්ක අහවල් දේ කොරන' කතා ගෙවල්වල ඈයින්ට ඇහුනොත් ෆිල්ම් කෙරුවාව එතනින් අහවරයි නොවැ. අන්තිමට ජානක තමා ඒකට කර ගැහුවේ. "සහෝදරවරුණි, බිය නොවන්න - බලන හැටි මම පෙන්වමි" කියල තමා ඌ කිව්වෙ. පේන විදිහට ඌ ඉස්සෙල්ලාම ගෙදර අම්බානක බය කරලා වගේ. මෙහෙම සෙට් එකක් එන්නෙ.... මෙහෙම වැඩක්.... අරක මේක කියලා. මොකද වැඩේ අහවර වෙනකං ගෙදර කට්ටිය නෑ වගේ තමා. මං හිතන්නෙ කට්ටිය කුස්සියේ. යන්තං ෆිල්ම් එක ඉවර උනාම දොර යාන්තමට ඇරිලා කෙසෙල් ගෙඩිත් එක්ක තේ කෝප්ප ට්‍රේ එකක් විතරක් ඇතුලට ආවා.

රෑ 7.00 පටන්ගන්නවා කියපු හින්දා 8.10 වෙද්දි හැමෝම වගේ ආවා. ඊට පස්සෙ ෆිල්ම් එක දැම්මා. කොහොමත් ෆිල්ම් එකේ විනාඩි දහයක් විතර යනකං සුපුරුදු ටෙක්නිකල් ප්‍රශ්න ටික තමා. එකෙකුට සවුන්ඩ් මදි. එකෙක් බයයි කුස්සියට ඇහෙයි කියලා. තව එකෙකුට කලර් මදි. එකෙකුට කන්ට්‍රාස්ට් මදි. තව එකෙකුට පුටුව සෙට් නෑ......... ඔන්න යන්තං ෆිල්ම් එක සෙට් උනාම දෙතුන් දෙනෙක් පිටිපස්සෙන් ඩබ් කරනවා. ඔන්න ඕවට තමා මල පනින්නේ.......

හැබැයි ඩබින් වලත් හොඳ පැත්තක් තියෙනවා. මොකක් හරි සිදුවීමක්/රූප රාමුවක් තව කෙනෙක් දකින හැටි දැනගන්න පුළුවන්. ඊට පස්සෙ ඒගැන එන හොඳම කියවීමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්.
සමස්තයක් විදිහට ෆිල්ම් එක හැමෝම වගේ හොල්මන් කලා කියලා තමා පෙනුනේ. මොකද නාමාවලියත් ඉවර වෙලා තමා හිරි ඇරගන්න නැගිට්ටේ.

ෆිල්ම් එක ඉවර උනාම ආපු ලොකුම ප්‍රශ්ණේ තමා ඒකෙ තියෙන ගැබිණි කාන්තාවක් සමග යම් පුද්ගලයෙක් ගස් දෙබලක් මත සංසර්ගයේ යෙදෙන සීන් එක. ඊ ළඟට (යම්) ගැබිණි කාන්තාවක් වස ශරීරගතකරගෙන මියගොස් සිටීම. මේ සිදුවීම් ෆිල්ම් එකේ කොතැනද ස්ථානගත කරන්නෙ කියන එක තමා ගැටළුව. මොකද මේ චරිත දෙක එන්නේ ඒ දර්ශනයට විතරයි. ෆිල්ම් එකේ පසුබිමත් එක්ක කොහෙත්ම නොගැලපෙන සහ මේකෙ තේමාව කියලා අපි හිතං ඉන්න එකට කොහෙත්ම සෙට් නොවෙන මේ සිදුවීම ගැන එක එක කතන්දර කට්ටිය කිව්වා. හැබැයි ඒ කාලෙ රියර් අද්මිරාල්ලා, පැරකුම් කිවියා,ජැක්සන් බබා කියපු ජාතියේ ගොන් කතා නම් එකෙක්වත් කිව්වෙ නෑ. ආපු අදහස් ඔක්කොම මතක නැති උනත් ඒක ගැන සාධාරණ පැහැදිළි කිරීමක් හැටියට සුජියාගේ අදහස කවුරුත් පිළිගත්තා.










සුජියාගේ තියරිය මේකයි.
'යුදබිමක (හෝ පශ්චාත් යුද බිමක) තර්කානුකූල කිසිවක් නැත.'

දැං ෆිල්ම් එකක් බලද්දි අපිට පේන්නේ රූප රාමු. එක් රූප රාමුවකින් හදන අඩුව පුරවන්න ඊළඟ රූප රාමුව එනවා. අපි මේ ආඛ්‍යානය කියවනවාට අමතරව මේ එක එක රූප රාමු නැතිනම් එක් එක් සිදුවීම් අතර තර්කානුකූල සම්බන්ධයක් ගොඩ නගනවා. ඒ අනුව තමා අපි ෆිල්ම් එක කියවන්නේ. ඉතිං විමුක්ති කරන්නෙ එකපාරට අර වගේ නසරාණි සීන් එකක් ඔබලා අපි හදාගෙන යන පිළිවෙල නැතිනම් අර තර්කානුකූල දම්වැල කඩලා දානවා. ඉතිං ෆිල්ම් එක ඉවර වෙනකලුත් අපි ට්‍රයි කරන්නෙ අර සිදුවීමට පුරුකක් හොයාගෙන කොහොම හරි මේක අමුණ ගන්න. (එහෙම බැරි උනාම තමා ඒ කාලෙ අරගොල්ලො බෙරිහන් දුන්නෙ විමුක්තියා විදේශ සම්මාන බලාගෙන අපේ අගනා වටිනාකම් ...........)

සුජිත් කිව්වෙ මේක අපේ ප්‍රශ්ණයක් කියලා. ඇත්තනේ. විමුක්තියා කිව්වෙ නෑනේ අපිට දම්වැල් හදාගන්න කියලා. අපි මේක කරන බව ඌ දන්නවා. ඉතිං ඒකට ඌ ගේමක් දුන්නා. අපිට මල පැන්නා.
ඇත්ත කතාව තමා යුද බිමක (නැතිනම් අද අපි වෙසෙන පශ්චාත් යුද බිමක) කිසිම සිදුවීමක තර්කානුකූලභාවයක් සනාථ කල නොහැකිවීම. උගේ උදාහරණ තමා මේවා.

1) යුද්ධයේ මිලිටරි පාර්ශවය සාර්ථකව ජයග්‍රහණය කල ජෙනරාල් සරත් ෆොන්සේකා වසරකුත් මාස කිහිපයක් තුල වැලිකඩ බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් සමඟ එක හැලියේ බත් බුදීම තර්කානුකූලව පහදන්න.

2 )රටේ සියළු දෙනාගේ ජනාදරයට පාත්‍රවූ, දිනකට කැසිනෝ වෙනුවෙන් පමණක් ලක්ෂ ගණනක් වියදම් කල ධන කුවේරයෙක් වූ සක්විති රණසිංහ මාස කිහිපයක් තුල යකඩ කම්හලක කුලී වැඩ කරන අන්ත හිඟන්නෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම තර්කානුකූලව පහදන්න.

3) යන්තම් වසර දෙකකට පෙර යුද හමුදාව සමූලඝාතනය උදෙසා අති නවීන අවි ආයුධ කැරළිකරුවන් වෙත සැපයූ කේ.පී. ට සැලියුට් කිරීමට හමුදාවේම සෙබළෙකුට සිදුවීම තර්කානුකූලව පහදන්න.

4 )දේශපාලනය තබා රංගනය පිළිබඳවවත් මොන මළ දානයක්වත් හරියකට නොදන්නා නිරූපිකාවක වන උපේක්ෂා ස්වර්ණමාලී ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා 18 වන සංශෝධනය පිළිබඳ ඇගේ ස්ථාවරය පැහැදිළි කිරීම තර්කානුකූලව පහදන්න.

5 )විධායක ජනාධීපති ක්‍රමයට එකඟව කටයුතු කල රවි කරුණානායක 18 වන සංශෝධනයට විරුද්ධ වෙද්දී වාසුදේව එයට පක්ෂ වීම තර්කානුකූලව පහදන්න.
...................................................
(ඌ කියපු සේරම මතක නෑ. හැබැයි මට හිතෙන ඒවත් දාල ලියනවනං තව සීයක් උනත් ලේසියෙන්ම ලිව්වෑකි)
දැං ඉහත ඒවා සේරම පුශ්න කිරීමකින් තොරවම ස්වභාවික විදිහට බාරගන්න අපි රූප රාමුවක තර්කානුකූල භාවය ගැන මෙච්චර කරදර වෙන්නෙ ඇයි?
(මෙතන හරි වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික පස්සෙ ලියන්න හිතාගෙන ඉන්නවා)
කොටින්ම සුජිත්ගේ අදහස සුළඟ එනු පිණිස පසුබිමේ ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම ඒ සිදුවීම් වලට අපේ කතිකාව තුල තර්කානුකූල සම්බන්ධයන් ගොඩනගන්න යන එක වික‍ාරයක් කියන එක. චිත්‍රපටය තුල මේ කාන්තාව ගැන අනුර (මහේන්ද්‍ර පෙරේරා) කියන්නෙ මෙච්චරනේ.
“මේ පළාතෙ කෙනෙක් නෙමේ වගේ......!”
ඉතින් එතන ජීවත් වෙන අනුරට නැති ප්‍රශ්ණ අපිට එන එක තමා අපි හැප්පෙන මැණික් ගල. (ඕනෙනම් විසිකරලා දාන්නත් පුළුවන්)










ඊ ළඟට මතක තියෙන අදහස උනේ අන්තිම හරියේදී පාරේ සිට නිවස පෙන්වන රූප රාමුව. එතනදි මෙච්චර වෙලා මේ නිවස තුල ඉඳං මුඩුබිම දැකපු අපි, පළමු වරට මුඩුබිමේ සිට නිවස දිහා බලනවා. මේක මේ බිමේ පිහිටි තවත් එක ගෙයක් විතරයි කියන හැඟීම අපිට එන්නෙ එතනදි. සමස්ත ඛේදවාචකයේ පරිමාව අපට දැනෙන්න ගන්නවා.

අධිබල විදුලි රැහැන් කිහිපයක් තුළින් නිවසේ දුරස්ථ රූපයක් පෙන්වන අන්තිම දර්ශනයත් කවදාවත් අමතක වෙන්නක් නොවෙයි. මේ මුඩුබිමට ඉහළින් කොහේදෝ සිට කොහාටද ඇදෙන මේ උස් රැහැන, මේ මුඩුබිම පුරාම පැතිරී ඇති අමනුස්ස පාළුවට/අක්‍රීය මිනිස් සන්තානයන්ට/නම් නොමැති මිනිස් ප්‍රාණීන්ගේ අතුරුදන්වීම් වලට කොච්චර දුරට වගකියනවද කියන එක හිතන්න ඉතිරි කරලා ෆිල්ම් එක ඉවර වෙනවා.










ඉතින් තවත් කතා ගොඩක් ගියා. රෙකෝඩ් කරගත්තෙ නැති පාඩුව දැනෙනවා. ඒ කතා බහ හැමදාම වෙනවා වගේ වෙන යාංහෑලි ගොඩකට පරිවර්තනය වෙන්ඩ ගත්තාම එකා දෙන්නා මාරුවීම ඇරඹුවා. ආයේ ෆිල්ම් එකක් බලන අදහසින්. විශේෂයෙන් එදා නොතිබුන පොඩි අංශෙකුත් සෙට් කරගෙනම.

-Charmi

Tuesday, October 19, 2010

පාර්ක් එකට යන්න, පොඩි විවේකයක් ගන්න

















මේ දවස්වල නිතරම අහන්න හම්බවෙන හොට් නිවුස් එකක් තමයි උද්‍යාන වල ඉඳලා පොලිස් මාංචුවලට අහුවුනු "ජෝඩු" අවවාද දීලා දෙමව්පියන්ට බාරදීම. එහෙමත් නැත්තන් සමහර සරසවි "ලොක්කන්" සරසවි බිමේ "නරක" විදිහට හැසිරුනු ගෑනු ළමයි රෝහල් යවා කන්‍යාභාවය පරික්ෂා කිරීම. දැනට රටෙන් පිට ජීවත් වෙන, මේ නිවුස් වලින්, මිතුරන්ගේ කතාවලින්, සහ අවුරුදු 26ක් ලංකාව තුල ජීවත් වීවෙන් ලැබූ අත්දැකීම් වලින් ලංකාව දකින මගේ වර්තමාන චිත්‍රයට අනුව පිරිමියෙකුට සහ ගැහැනියකට පාර්ක් එකක(සහ ඒ හා සමාන තැන්වල උදා: මුහුදු වෙරළේ ) නිදහසේ කතාකරමින් සිටින්නට තහංචි තිබෙනවා. ඒ වගේම විවාහක යුවලකට උනත් විනෝදශීලී විදිහට ඉන්න එම පාර්ක් වල සික්කන් සහ පොලිස් කොස්සන් ඉඩ දෙන්නේ නැහැ. කට්ටිය "විනීතව" හැසිරෙන්න ඕනේ. ඔබ මිතුරියක් එක්ක සතුටු සාමීචියකට පාර්ක් එකට යනව කියන්නෙ නිකන් කුඩු ගහනවට වැඩිය භයානක වැඩක්. මා වැරදිනම් කරුණාකරලා නිවැරදි කරන්න.
සකුරා මල් පිපෙන රටේ කුඩා නගරයක ජීවත් වෙන මට දැනට මාස කීපයකට කලින් අත්දකින්න වෙච්ච සිදුවීමක් මතක්වුනා මේ ලංකාවේ වෙන දේවල් එක්ක. මා මගේ මිතුරියක් සමග හමුවීක් යොදාගෙන තිබුනා. ඒ නගරය මැද තිබුනු කුඩා පාර්ක් එකේ. අපේ හමුවීම තිබුනේ රෑ 8ට පමණ. මා ටිකක් වේලාසන ගියේ හැමදාම පරක්කු වෙනවා කියන චෝදනාවෙන් මිදෙන්නත්, රෑ පානේ කාන්තාවක් පාර්ක් එකක තනියම බලාසිටීමට සැලැස්වීමෙන් වලකින්නටත්ය. පාර්ක් එකේ කොණක බයිසිකලය නවතා බංකුවක ඉඳගත්විට මා දුටුවේ ඊට ටිකක් එහායින් බංකුවක ප්‍රේමයෙන් වෙලී සිටින හිරිමල් යොවුන් කුරුළු ජෝඩුවක්. ඔවුන් සැරසී සිටියේ පාසැල් ඇඳුමින්. ඒ අනුව ඔවුන් අවුරුදු 14-16 වියහැකි බව නිගමනය කලෙමි. පිරිමි ළමයා බංකුවේ දිගාවී සිටි අතර ගැහැණු ළමයා සිටියේ ඔහුගේ ඇඟ උඩ. ලෝකය ගැන මෙලෝ සිහියක් නැතිව ඔවුන් ගිලීසිටියේ සිටියේ ඔවුන්ගේ පාරදීසයේ. ටිකවෙලාවකින්, මේ පාර්ක් එක බලාකියාගන්න ඉන්න මනුස්සයා මුරසංචාරයේ යෙදෙනගමන් මා අසලට පැමිණිය. ඔහු මට කතාකර මොනවාදෝ කියන්නට උත්සහ කලා. පදමට දමා සිටි ඔහුගේ ප්‍රාදේශීය භාෂා විලාශය, මගේ බස පිළිබඳ "මහා" දැනුම, සහ ඔහුගේ බඹර පදම නිසා මට කියූදෙය තේරුණේ නැත. කෙසේ හෝ ඔහු කියවා, කියවා යන්නට ගියේය. නමුත් ඔහු අර ජෝඩුව දෙස බැලුවේවත් නැත. ඔවුන් ප්‍රේම ආලිංගනය දිගටම කරගෙන ගියා.

ඊට ටිකවෙලාවකට පසු මගේ මිතුරිය පැමිණියා. ඇය අර ජෝඩුව දෙස බලමින්, ඇඟිල්ල දික් කරමින් මට එය පෙන්වමින්, සිනාසෙමින් මා වෙතට ආවා.
"දැක්කද අරක? අද සෙට් වෙච්ච දෙන්නෙක්ද කොහෙදෝ" ඈ කිව්වේ එවැනි දෙයක්.

ඉන්පසු අපි දෙදෙන බංකුවක ඉඳගෙන සිසිල් සුලං විඳිමින්, රැගෙන ආ බීර කෑන් දෙක තොලගාන්නට පටන් ගත්තා. ටිකවෙලාවකින් පොදවැස්සක් ඇදහැලෙන්නට පටන්ගත්තේ නොසිතූ විදිහට. අපගාව තිබුනේ එක කුඩයක් බැවින් එය ඉහලාගෙන වැස්සෙන් ආවරණය වී, අප සතුටු සාමීචිය දිගටම කරගෙන ගියා. නැවත වරක් අර මුර උන්නැහැ සුපුරුදු මුර සවාරිය කරමින් උන්නා. මෙවර ඔහු අප දෙදෙන අසලට පැමිණියේ නැත. කුඩය උස්සා අප කරන්නේ කුමක්ද බැලීමටවත්, අප පෙම්වතුන්ද, විවාහකයින්ද බැලීමටවත් පැමිණියේ නැත. අර පෙම් කුරුළු ජෝඩුව වැහි පොදද නොතකා තවමත් ඒ විදිහටම එතනමය. මුර මහතා ඒ දෙස බැලුවේද නැත. ඔහු නැවත තම ස්ථානය වෙතට යනු අප බලා සිටියා.

ලංකාවේ එහෙම මෙහෙම දෙයක් උනා නන් පෙම් සුව(හෝ වෙන මොකක් හරි )විඳින්නට පැමිණි ඔවුන් දෙදෙනාද, නිදහසේ, ග්‍රීස්ම සැන්දෑ සුව විඳිමින් කතාබහ කිරීමට පැමිණි අප දෙදෙනාද, දණ ගස්සවා, කුදලා, පොලීසියට දක්කනු ඇත. අඩුමගානේ "ඔය විදිහට ජෝඩු දාලා ඉන්න බෑ මෙහේ" කියා පාර්ක් එකෙන් එලවනුවත් ඇත.

(ප.ලි: මෙය සදාචාරය ගැන සටහනක් නොවන බව කරුණාවෙන් සලකන්න.)


Friday, October 15, 2010

බෙනට් රත්නායක, සුළඟ එනු පිණිස සහ Flanders

ජීවිතේ හරිම කාර්යබහුල වෙමින් පවතින කාලයක් මේක. සිකුරාදා හවස් වරුවේ වැඩ කීපයක්ම ප්ලෑන් කරලයි තිබ්බෙ. ඉගෙනීම් කටයුතු දෙකක් ඒකෙන් මූලික වෙලා තිබ්බා. ඊට අමතරව දවල්ට ආහාර වේලක් උයා බඩ පුරවාගැනීමද මූලික අවශ්‍යතාවයක්නෙ. ඒ වගේම කියවීම අතරමඟ නතරකර තිබූ පොතක්ද, සිකුරාදා හවසට සෙට් වීමක්ද ප්ලෑන් කර තිබෙනවා. මේ සියලු වැඩ නවතා, බඩගින්නේ, මම මෙය ලියමින් සිටිමි. මෙසේ ලිවීමට මට බල කරන ලද චූදිතයන් තුන්දෙනෙකි.

1. බෙනට් රත්නායක නැමති "සිනමාකරුවා"
2. Flanders කියන ප්‍රංශ ච්ත්‍රපටය හැදූ Bruno Dumont
3. RearGate ලියන චාමී කියන බ්ලොග්කරුවා

එකින් එක ගැන වෙනවෙනම බලමු දැන්....













බෙනට් රත්නායක තමන්ගෙ "ඉර හඳ යට" කියන බයිස්කෝප් එක ගැන කියද්දි කියපු කට කැඩිච්ච කතාවක් මට මුලින්ම අහන්න ලැබුනෙ සිනේ බූන්දියෙන්. එයා කියනවලු "හමුදාව ගැන විවේචනය කලා නම් මීට වඩා සම්මාන ගන්න තිබුනා" කියලා. මෙය එතරම් පැහැදිලි කතාවක් නොවුවත් මේක දැක්කහම මට හිතෙන්නෙ එයා හිතාගෙන ඉන්නවා හමුදාව විවේචනය කරන චිත්‍රපටි වලට සම්මාන හම්බවෙනවා කියලා. අනිත් එක එයා කියන්නෙ "මට ඕනේ නම් හමුදාව විවේචනය කරලා චිත්තරපටියක් හදන්න පුලුවන්. ඔය අනිත් අය(සම්මාන ගත්ත අයා හැදුව වගේ. ඒ කරලා මටත් ඔය ලොකු සම්මාන ගන්න තිබුනා. ඒත් මම එහෙම කරේ නැහැ..." වගේ කතාවක්.
දැන් පොඩ්ඩක් බලමු කවුද සම්මාන ගත්ත අය කියලා. ඈත අතීතයට නොයා මෑතකදී මුලින්ම මට මතක් වෙන්නෙ හඳගම. ඊට පස්සෙ ප්‍රසන්න විතානගේ,විමුක්ති ජයසුන්දර සහ සුදත් මහදිවුල්වැව. හඳගම එයාගේ "මේ මගේ සඳයි" සිනමාපටයට ටෝකියෝ සිනමා උත්වයෙදී හා සින්ගප්පුරු උළෙලේදී සම්මාන ගන්නවා. ඊට පස්සේ ප්‍රසන්නගේ පුරහඳ කළුවර , ඉර මැදියම සම්මානයට පාත්‍රවෙනවා. විමුක්තිගේ සුළඟ එනු පිණිස 2005 දී කාන් සම්මානයක් ගන්නවා. සුදත් මහදිවුල්වැව සම්මානයක් ගත්තද කියලානන් මට මතක නැහැ. කොහොම උනත් මේ හැමෝටම "හමුදාව විවේචනය කලා", "යුද්ධය ගැන වැරදි ප්‍රතිරූපයක් මැවුවා", "හමුදාවේ මෙව්වා එක බින්දා" කියලා චෝදනා ගොඩාක් එල්ල වෙනවා. ඉතින් බෙනට්ට අනුවත් මෙයාලා හමුදාව විවේචනය කරලා. ඒ හින්දා තමයි මේ හැමෝම සම්මාන ගන්නෙ. ඒත් එහෙම කරන එක හරි නරකයි. ඉතින් උන් නරකයො. කක්කි බබාලා. මම හොඳ බබා. ඒකනෙ අවසානයේ මේ මනුස්සයා කියන්නෙ.

තව ප්‍රශ්නයක් තියනවා. මෙතන මෙයා හමුදාව කියල අදහස් කරේ මොන හමුදාව ගැනද දන්නෙ නැහැ. පොදුවේ ලොකේම ඉන්න සියලුම හමුදාවන් ගැනද, නැත්නම් ලංකාවේ හමුදාව ගැන විතරක්ද දන්නෙ නැහැ. මොකද ඒ දවස් වල මට මතකයි මේ වගේ ලංකාවේ හමුදාවට "කෙලින"(එයාලා කියන විදිහට) චිත්‍රපටි වලට සම්මාන දීම විජාතික කුමන්ත්‍රණයක් කියල අදහසක් ප්‍රචාරය කරගෙන ගියා. හොඳයි...ඒක එහෙමයි කියමුකො(විහිලුවට වගේ). ඔන්න මමත් ඒ අදහසට එකඟ උනා. ඔහොම සම්මාන දෙන එක කුමන්ත්‍රණයක්...!!!













එතකොට මට ආපහු එන්න වෙනවා විමුක්තිගේ "සුළඟ එනු පිණිස" ලඟට. ඒකට සම්මාන දෙන ජූරියේ ප්‍රධානියා ඉරාන මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි. අහලා තියන විදිහට මේ සම්මානය දෙද්දී ජූරිය බෙදුනලු. කට්ටියකට මිරැන්ඩා ජූලී (Miranda July)ගේ චිත්‍රපටයට (Me and You and Everyone We Know) සම්මාන දෙන්න ඕනේ උනාට අබ්බාස් කියරොස්තාමි විමුක්තිගේ චිත්‍රපටියට සම්මානය දෙන්න ඕනේ කියලා කියා සිටියාලු. අන්තිමටම සිනමාපට දෙකටම සම්මානය ලැබුනා. මේක මම අහපු කතාවක්. අබ්බාස් කියරොස්තාමී කියන්නේ චිත්‍රපට වලට ඉතා දැවැන්ත වාරණ රටාවක් ගෙනියන රටක් වන ඉරානයේ මහා සිනමාකරුවා. ඉතින් ඒවාට මුහුණ දෙමින්, ඒවා සමඟ ගැටෙන්නේ නැතිව සිනමාව කරන අයෙක් තමයි ඔහු. නමුත් ලෝක පූජිත සිනමාපට රැසක් ඔහුගේ අතින් බිහි වෙනවා. මේවාට ඉරාන රජය මගින් තහංචි එහෙම වැටෙන්නෙත් නැහැ.කට්ටිය කියන විදිහට මෙයා මේ කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් වෙන්න ඕනෑනෙ. ඉතින් ඔහු බටහිර ඒජන්තයෙක් කියලා කියන්න පුලුවන්ද මෙයාගෙ පැටිකිරිය අනුව?
කට්ටියට එන්න පුලුවන් තව අදහසක් තමයි මෙතන ජූරියට පිටින් ඉන්න අයගෙ බලපෑම ආවා කියලා. එහෙම ලංකාවේ වගේ එහෙ වෙනවද කියන්න දන්නෙ නැහැ. මොනව උනත් අපි දන්නෙ නැති හින්දා එහෙම උනා කියල හිතමුකො.












ඔන්න දැන් දෙවනි චූදිතයව කූඩුවට නග්ගන්නයි යන්නෙ. ගිය සතියේ මට බලන්න හම්බ උනා අපූරු සිනමා පටයක්. මේකේ නම Flanders. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruno Dumont කියන ප්‍රංශ සිනමාකරුවා. ඒ කියන්නෙ මේක එලියට එන්නේ මෙච්චර වෙලා කතාකරපු කාන් සම්මාන උත්සවය තියන ප්‍රංශයෙන්. සුළඟ එනු පිණිස සම්මාන ගන්නෙ 2005 දී. මේ චිත්‍රපටය ඊට හරියටම අවුරුද්දකට පස්සෙ 2006 කාන් එකේ ප්‍රධාන සම්මානයක් වෙන ජූරියේ විශේෂ සම්මානය(Grand Prize of the Jury) ගන්නවා.
මොකද්ද මේකේ ඇති වැදගත්කම? ඔබ මේක නරඹලා තියනවනන් ඒක දැනටම තේරෙනව ඇති.
මේක ගලාගෙන යන්නෙ මේ වගේ සිද්ධි දාමයක් ඔස්සේ.
ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ ගමක ගොවිපොලක් කරගෙන යන තරුණයෙක් හමුදාවට ඇතුලු වෙනව. ඔහුගේ මිතුරිය (ඔහු ඇය ඔහුගේ පෙම්වතිය බව නොකියයි )මේ නිසා දුකින් පසුවෙනව. ඇය වඩාත් දුක්වන්නේ ඇයගේ තවත් පෙම්වතෙක් වන තරුණයෙක්ද මේ සමඟ හමුදාවට බැඳීමයි. ඔවුන් දෙදෙනාම එකම රෙජිමේන්තුවේය. උන් ගිය පසු එම තරුණියට මානසික ප්‍රතිකාර ගැනීමටද සිදුවෙනවා. යාලුවො දෙන්නා යවන්නෙ මැදපෙරදිග ඉස්ලාම් රටකට. එහෙදි මෙයාලගෙ හමුදා කණ්ඩායම කිසිම වග විභාගයක් නැතිව මිනිස්සු මරල දානවා. තව, ගෑනු කෙනෙක් හම්බ උනහම කණ්ඩායමක් විදිහට ඇයව දූෂණය කරනවා. එයාලට පොඩි ළමයින්ව මරන්නත් සිද්ද වෙනවා.
චිත්‍රපටිය ගැන වෙනමම සටහනක් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මෙතන කියන්න යන දේට මේ ටික ඇති.
ඉතින් මේකේ පෙන්නනවා යුරෝපීය(ප්‍රංශ) හමුදාවන් මැදපෙරදිග පැත්තෙ මොනවද කරන්නෙ කියලා. මේ රට ඉරාකය හරි ඇෆ්ගනිස්ථානය හරි වෙන්න පුලුවන්. අපේ බෙනට්ට අනුව මේකත් හමුදාව විවේචනය කරන ෆිල්ම් එකක්නෙ. දැන් තමයි මාර ප්‍රශ්නයක් උද්ගතවෙන්නෙ. මාර වැඩේනේ. යකෝ තමන්ගෙ රටේ හමුදාව විවේචනය කරන ෆිල්ම් එකකට ප්‍රංශයෙන්ම සම්මානයක් දෙනවා. ඔය රටවල දේශප්‍රේමියෝ නැද්ද හැබෑට. බෙනට් වගේ...

ඒ අතරෙ තව පොඩි අතුරු කතාවකුත් මතක් උනා. සුළඟ එනු පිණිස සිනමා ශාලාවකින් බලපු මගේ යාලුවෙක් ඒ දවස්වල කිව්වා "ඒකෙ තියෙන්නෙ බැද්දෙ _ _ _ (සංසර්ගයේ යෙදෙන ) එව්ව බන්" කියල. මම ඒ වෙද්දි ඒක බලල තිබුනෙ නැහැ. ඉතින් Flanders චිත්‍රපටිය බලද්දි මට ඒ කතාව මතක් උනා. "යකෝ මේකේ තියෙන්නෙත් බැද්දෙ .........". (ඉදිරියෙදී මේ චිත්‍රපටය ගැන ආපහු ලියන්න හිතාගෙන ඉන්න නිසා ඉහත කතාව පැහැදිලි කිරිමට යන්නෙ නැහැ).කොහොමහරි, සුළඟ එනු පිණිස රටේ ප්‍රතිරූපය හානි කරාලුනේ. දැන් බලපුවහම මේ ප්‍රංශ චිත්තරපටියත් කරල තියෙන්නෙ ඒකමයි. ඒත් ඒකට මෙන්න බොලේ සම්මාන දෙනවා. පිස්සුද මන්දා....
ඔන්න දැන් තුන්වෙනි චූදිතයව කූඩුවට නග්ගන්න වෙලාව හරි. RearGate ලියන චාමී නැමැති බ්ලොග්කරුවා (නිකන් ඉන්න බැරුවට ) සුළඟ එනු පිණිස ගැන සටහනක් ලියල තිබුනා. ඒ සම්බන්ධව මටත් තියෙන්නෙ සමාන අද්දැකීමක්. ඉතින් ඒක දැක්කට පස්සේ හිතේ තිබුන කේන්තිය නිසයි මේක මෙහෙම ලියවුනේ. ලංකාවේ සිනමා ලෝලීන්ට දිගටම "අබා සහ කොබා" වැනි නාඩගම් බලමින්, බෙනට් වැන්නන්ගේ ටෝක්ස් අහමින් සිටීමට සිදුවේවි. ඉතින් චාමී, අපි මෙහෙම මේවා ලියලා "කාලකණ්ණි" සතුටක් ලබමු.....



Thursday, July 8, 2010

මොනව ලියන්නද මන්දා.....














අලුතෙන් බ්ලොග් එකක් පටන් ගත්තට මේකෙ මොනව ලියවේද කියන්න මමවත් දන්නෙ නැහැ. ලියන්න හිතෙන හැමදේම ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒත් අනාගතේ ගැන කාටද කියන්න පුලුවන්. ඉතින් ඒ හින්ද අනාවැකි කිය කිය ඉන්නෙ නැතුව ලියලා දාමු. Rang De Basanti චිත්‍රපටයෙ කියනව වගේ අපි අතීතයේ එක කකුලක් තියාගෙන අනාගතේ අනිත් කකුල තියාගෙන වර්තමානයට මූත්‍රා කරමින් ඉන්න මිනිස්සුනෙ. ඒ වැඩෙන් මිදෙන්න හරිම ආසයි.... ට්‍රයි කරල බලමු....
මේ ලියන මොහොත තමයි ලිවීම. ඔබ මේක කියවන මොහොත තමයි කියවීම. තව වෙන මොනවත් තියනවද ඊට වඩා....