Saturday, November 12, 2011

ජානේ තූ... යා ජානේ නා















මේක ගැන කොහොම ලියනවද කියල හිතාගන්ඩ බැරුව සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා. තවම ඒ හැටි පැහැදිලි විදිහක් කල්පනා වෙන්නෙ නෑ. ඒකට පිළියම මොනවහරි ලියන එක කියල අන්තිමටම හිතල ඔන්න වැඩේට බැස්සා.
මේ වැඩේ මෙච්චර අමාරු වෙන්නෙ මේ ෆිල්ම් එකෙන් හම්බවෙච්ච රසය වචන වලට පෙරලන්ඩ අමාරු හින්දා වෙන්ඩ ඇති.

ජානේ තූ යා ජානේ නා කියන්නෙ පාට පාට කැලෑ මල් මාලයක් වගේ. එක එක වර්ගෙ මල්. සමහර ඒවා ලස්සනයි. එච්චර ලස්සන නැති ඒවත් තියනව. වල් පැළ, කොළ එහෙමත් අතරින් පතර සෙට් කරල. ඒත් වැදගත්ම දේ තමයි ඒ හැම දෙයක්ම හරිම සූක්ෂම විදිහට එකට එකක් ගැලපෙන විදිහට අමුනල තියන විදිහ.
මේකෙ කතාව හරිම සරල, බොහොමයක් හින්දි චිත්‍රපටිවල තියන වට්ටෝරු කතාවක්. හනිමූන් එකට පිටරට ගියපු කුරුලු ජෝඩුවක් ආපහු එද්දි ඒ දෙන්නව පිළිගන්ඩ යාලුවො සෙට් එක එනව ගුවන් තොටුපොලට. ඒ අය අතරෙ ඉන්නව අලුත් යාලුවෙක් මේ දෙන්න ගැන කිසිම දෙයක් නොදන්න. අහස් යානෙ එනකල් වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ඒ අලුත් යාලුවට අනිත් කට්ටිය අර දෙන්නගෙ ආදර කතාව කියනව. ඕක තමයි ෆිල්ම් එක. සරලයි. 'මහප්‍රාණ' නෑ...
වැදගත් දේ තමයි මේ කතාව අහන යාලුව, චිත්‍රපටිය නරඹන්නො වන අපත් එක්ක එකට පුටුවල වාඩි කරල තමයි වැඩේ පටන් ගන්නෙ. අනික කතාව කියන්ඩ පටන්ගන්න විදිහ.

"ඔහොම නෙවෙයි ඔය කතාව කියන්ඩ ඕනෙ, මෙන්න මෙහෙමයි"

එතන ඉඳන් කතාවෙ හැම කොටසක්ම ගානට සෙට් වෙනවා. හින්දි ෆිල්ම් එකක දැකපු හොඳම තිරරචනයක් අප ඉස්සරහ දිගහැරෙනව. කලින් කිව්ව වගේ මල් ගොඩක් නියමෙට තිතට ඇමිනෙනවා.
එක ඉන්ටර්විව් එකකදි මේ ෆිල්ම් එක හදපු අබ්බාස් තයිරවාලා කියනව ඔහුට අවශ්‍යය වුනේ කතාවක් කියන්ඩ කියල. එයා ඒක නියමෙටම කරනවා.


ඒ විතරක් නෙවෙයි, එයා තිතට අමුණපු ඒ මල් මාලේ එක මලක්වත් අඩුමගානෙ කොළයක්වත් මැරෙන්ඩ දෙන්නෙ නැතුව නැවුම් විදිහට බලන් ඉන්න අපේ කර වටේට දානවා.

හැම සීන් එකක්ම ජීවයෙන් පිරිලා. පලපුරුද්දක් නැති අලුත් නලු නිලි සෙට් එකක් අරගෙන(ප්‍රවීන අයත් අතරින් පතර ඉන්නව )ඒ අය හුළඟක් වගේ කැමරාව ඉස්සරහ නිදහස් කරනවා. සමහරු වැඩේ අනනවා. සමහරු ගොඩ දාගන්නව. ඒත් ඔක්කොම කඩාගෙන මුලු ෆිල්ම් එකම අපේ ගැටවර හීනයට කතාකරනවා.



















ෆිල්ම් එකට ජීවය පිඹින තවත් මැජික් කරුවෙක් ඉන්නවා පැත්තකින්. ඒ තමයි ඒ. ආර් රහුමාන්. මෙතනදි මං කියන්නෙ සින්දු ගැන නෙවෙයි පසුබිම් සංගීතය ගැන. ෆිල්ම් එක පුරාම අපේ මූඩ් සෙට් කරන්නෙ රහුමාන්. ඒත් ෆිල්ම් ෆෙයාර් සම්මානය හම්බවෙන්නෙ මේකෙ සින්දු මූලික කරගත්ත සංගීත අධ්‍යක්ෂණයට මිසක් පසුබිම් සංගීතය වෙනුවෙන් නෙවෙයි. මොනව උනත් ලොකු විචාරකයො කියල කියන කට්ටිය බනිද්දිත් මේ වගේ ෆිල්ම් එකක වැඩ කරන්ඩ රහුමාන් බාරගත්ත එක එයා ගත්ත හොඳම තීරණයක් කියන එකනන් නොකිය බැහැ.




ඇත්තටම ජානේ තූ යා ජානේ නා කියන්නෙ හින්දි සිනමාවේ මහ දැවැන්ත නිර්මාණ කියල පිළිගන්න ඒවට සැහෙන්ඩ උඩින් තියන ෆිල්ම් එකක්. ලඟදි බැලුවා හැමෝම හොඳයි කියල පොළොවෙ පස් කන්ඩ හදන සින්දගී නා මිලෙගි දොබාරා. අයිසින් නන් ගොඩාක් තිබ්බා. ඒත් චිත්‍රපටිය අපෙන් ගොඩාක් දුරයි. ජානේ තූ යා ජානේ නා ඉන්න සුන්දර සරල තැනට යන්ඩ බැරුව දුක් විඳින ෆිල්ම් එකක්තමයි අන්තිමටම බලන්ඩ හම්බ වුනේ. කන්සෙප්ට් එක මාරයි. ඒත් ඒක කතාවකට ගොනු වෙලා ස්ක්‍රිප්ට් එකට එද්දි වටේට ගොඩක් දේවල් සෙට් වෙලා. ඒත් මැද හිස්. ඇල්කොහොල් නැති බියර් වගේ. මේක ගොඩක් හින්දි චිත්‍රපටි වල මං දැකපු දෙයක්.

ඉන්දියාවෙන් පොඩ්ඩක් ලංකාවටත් ආවොත් ඇයි මෙහෙ ඉන්න කට්ටියට ෆිල්ම් එකකින් කතාවක් කියන්ඩ බැරි? ලොකු ලොකු දේවල් කරන්ඩ හදනවට වඩා ජනතාවගේ සිනමාවක් හදන්ඩ ඕනෙ නම් ඒ සරල තැනට යන්ඩ වෙනව. මිනිස්සුන්ට චරිත හුස්ම ගන්නව දැනෙන චිත්‍රපටි හැදෙනකම් ලංකාවෙ සිනමාවට අනාගතයක් නෑ. සමහරු සල්ලි වැඩි වෙලාද මන්දා මාර සෙට් දාලා, නලු නිලි හැට හුට හමාරක් අරගෙන, මහා දැවැන්ත එව්ව (චිත්‍රපටි?) කරනවා. බල්ලො බත් කන්නෙ නෑ. ඒත් ජානේ තූ යා ජානේ නා බලද්දි මගේ බෙල්ලෙ එතුනු ඒ මල් වැලේ සුවඳ මට තවම දැනෙනව.




මේ කොච්චර කිව්වත් මං මේකට කැමති ඇයි කියල තවම හරියට කියාගන්ඩ බැරි උනා කියලයි හිතෙන්නෙ. ලංකාවෙ මගේ චිත්‍රපටි සඟයා මේක ගැන කිව්ව කතාව මේ වගේ.

"මචං, අපි හැමෝගෙම හීනයක් තියනවනෙ බන්. මේකෙ තියෙන්නෙ ඒ හීනේ"

ඇත්ත වෙන්ඩ ඇති. ඒත් මං තවම කල්පනා කරනවා...