සකුරා......මේ මං කැමතිම ජපන් සින්දුව. සකුරා ගස් වල මල් තියා කොලයක්වත් නැති සීතල කාලෙක මේකට මං මෙච්චර කැමතිවුනේ ඇයි කියල හිතාගන්ඩ බෑ. ඒත් ඒ සකුරා මතකය ඒ තරම් ප්‍රභලයි.
මේ සින්දුව කියන්නෙ ඉකිමොනො ගකරි (Ikimono Gakari) කියන සංගීත කණ්ඩායම. මේක මෙයාලගෙ මුල්ම සින්දු වලින් එකක්. 2006 විතර. මේ වීඩියෝව මෙයාලගෙ සජීවී ප්‍රසංගයකදි පටිගතකරපු එකක්. ඒත් මේක තමයි මට ගොඩක්ම දැනුනෙ.
පුලුවන් විදිහට මේ සින්දුවේ අදහස සිංහලට පෙරලුවා. ඒ වෙනුවෙන් උදව් කරපු මිනකො ත්සුකෙන්(Minako Tsuken) මිතුරියට මගේ ස්තූතිය.
සකුරා මල්
සැලෙමින් බිමට වැටේ
මගේ ආදරයේ
බිඳුවක් ගානේ
මුදු පිරිමදිමින්
සකුරා මල් විසිරේ....
අදත් ඒ සිහිනය,
ඔබ හා
වසන්තයේ දුටු සිහිනය,
දකිමි.
සකුරා මල්
සුලඟේ වෙලී
පාවී විසිරේ...
දුම්රියේ සිට බලමි
අතීත මතක පිය මග
දෙදෙනා එක්ව ඇවිදගිය
වසන්තයේ පාලම.
ශිල්ප නිමකර ඔබ
ගඟ බඩ මග දිග
නගරය හැර ගිය
ඒ දවස සොයන්නෙමි.
වසන්තයට අත වනා
අපි අපේ මාවත් වල
පියමැන ගියෙමු.
මල්බර අනාගතයක
දොරකඩ අබියස
නොඉවසිල්ලෙන්
හිඳින්නෙමි.....
එනමුත්,
ඔදක්යූ දුම්රියේ
වීදුරුව මත
සකුරා මල් වල
චායාව දැක
මගේ හදගැබ තුලින්
ඔබේ කටහඬ ඇසේ...
මගේ හසුනේ
පළමු වචන පෙල
"මං හොඳින්"....
කියන්න,
ඔබ එයට රැවටුනද?
අපි යලි යලිත්
පියමැනූ ඒ මාවත
මේ අවුරුද්දෙත්
වසන්තය පිළිගෙන
සකුරා පුබුදුවා
ඇති සැටි බලන්න.
ඔබ නැතිවත්
මා දිවි ගෙවාවි
මා සවිමත්
ගැහැනියක්ව වැඩේවි
ඒත් ඒ සියල්ල
අමතකවෙලා යාවිද?
"මං ඇත්තටම ආදරය කලා"...
මම
සකුරා වලට අත පාමි
ඔව්,
දැන් මගේ ඒ ආදරය
මේ වසත් සුලඟතර
වෙලී පැටලී ඇත
ඔබ කියූ ඒ වදන්
තවම මා හදතුල
ගැඹුරේ
නිදන්වී ඇත.
ඒ දුර ඈත
වසන්තයේ මැද
සිහින මැවූ දවස
හිස් අහසේ පාවී
මැකී යයි...
මා පොරොන්දු වූ
ඒ සිහිනය
පපුවට තදින්
තුරුලු කරගමි.
සකුරා මල්
සුලඟේ වෙලී
පාවී විසිරේ...