Tuesday, December 6, 2011

මුදුනට නැගීමේ ආහ්ලාදය....

(එච්.ඒ. කරුණාරත්න කලාකරුවා සමඟ කේ.ඩබ්. ජනරංජන කල කතාබහක්)

ලංකාවේ චිත්‍ර කලාවට වියුක්ත ප්‍රකාශන ආර හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් ප්‍රවණතාවක් ලෙස හඳන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඔබ. ආපස්සට හැරී බලන විට ඒ ගැන මොකක්ද හිතන්නේ?

ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ ඇත්තක් ප්‍රකාශ කරන්න හදන අවස්ථාවක්. ඇත්ත ප්‍රකාශ කරන්න බැහැ දවසකින් දෙකකින්. මුළු ජීවිත කාලයේම පළපුරුද්දක් තියෙන්න ඕනෑ ඇත්ත හොයාගෙන යන්න. ඒ වගේම ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් කියන්නේ කෙනෙකුට ඇහෙන් බලලා රසවිඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ හරහා මනසට යන්න ඕනෑ. මනසින් රස විඳින්න ඕනෑ. ඇහින් දකිනවා කියන එකයි, මනසින් දකිනවා කියන එකයි පරස්පර විරෝධියි. ඇහින් විතරක් දකින, එතැනින් නතරවෙන පුද්ගලයාට ප්‍රශ්න තියෙනවා. මේ මොකක්ද, මොකක්ද මේකෙ තේරුම, කතාව මොකක්ද යනාදී ප්‍රශ්න ඔහුට තියෙනවා. කලාව කියන්නේ ප්‍රශ්න අහන එකක් නෙමෙයි. වින්දනයක් ලබන දෙයක්. වින්දනයක් ලබන්න නම් ඇහැ පරයා මනසට යන්න ඕනෑ. ඇහෙන් දකින ප්‍රද්ගලයාට සාමාන්‍ය ද්‍රව්‍යමය දෙයක වර්ණයක් පෙනෙන්නේ නැහැ. මේ ළඟ තියෙන පුටුව ගැන බලන්නකෝ. ඇහෙන් දකින පුද්ගලයාට මේකෙ වර්ණයක් නැහැ. එයාට ඕනෑ නම් ලැකර් ටින් එකක් අරන් ඇවිත් මේකෙ නිල්පාට, රතුපාට, කොලපාට ගෑ හැකියි. ඒකට හේතුව එයා ඇහැ පමණක් පාවිච්චි කරන නිසා. නමුත් මනස පාවිච්චි කරන පුද්ගලයාට මේකම තමයි රස.

ගඟක් අද්දරට ගියොත් අපට පෙනෙනවා, රැලි නැගෙනවා, කුඩා ගල් කැබලි වතුර පාරට  පෙරලි පෙරලි යනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ගිහින් මේ ගල් කැබැල්ලක් ගන්නවා ඇහෙන් දැකලා. තවත් පුද්ගලයෙකු ඒ ගලම ගන්නවා. එයා ඒකත් එක්ක සංවාදයක යෙදෙනවා. කතාවක් නැතිවම  පැත්ත හරව හරවා බලමින් වින්දනයක් ලබනවා. එයාගෙන් ඇහුවොත් මොකද්ද ඔය කරන්නේ කියලා, දෙන්න උත්තරයකුත් නැහැ. විස්තර කරන්නත් බැහැ. තම තම නැණ පමණින් තමයි දැනගන්න ඕනෑ. ඒ තමයි අර වින්දනය. රසය විඳිනවා කියන්නේ ඒකයි.

ඔබ කියන ආකාරයේ රසවත්වීමක් සඳහා රසිකයාත් දියුණු කරන ලද මනසක් සහිත විය යුතුයි....?

ඒක ඇත්ත වශයෙන්ම ලබාගත යුතු දෙයක්.නිර්මාණ කාරයන්ට දෙන්න පුළුවන් දෙයක් නොවෙයි. එයා ලබපු අත්දැකීම් අනුව, එයා ඉන්න ස්ථානය අනුව තමයි එයාගෙ රසවින්දන මට්ටම තීරණය වෙන්නෙ.

නිර්මාණකාරයෙකු තම නිර්මාණය රසවත් කිරීමට ගන්නා උත්සාහය ඔබට පෙනෙන්නේ කොහොමද?

මේක මහ කන්දක් නගිනවා වගේ වැඩක්. කන්ද නගිනකොට අතරමැදදී තියෙන ගහකොලං, සත්තු, දියපහරවල් වගේ ඔක්කොම ජාති ළඟින් පෙනෙනවා. ඒත් ක්‍රම ක්‍රමයෙන් උඩට නගිනකොට ඒවා වෙන් වෙන් වශයෙන් පෙනෙන්නේ නැතිව යනවා. අපෙන් ඈත් වෙනවා. එතැන් සිට සමස්තයයි පෙනෙන්නට පටන්ගන්නේ. මුළු විශ්වයම එකක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නේ.  ඒක තමයි සරළවීම කියන්නේ. සරළ වීම ශ්‍රේෂ්ඨයි. නමුත් ශ්‍රේෂ්ඨත්වය සරළ දෙයක් නෙවෙයි. වර්ඩ්ස්වර්ත් කියා තිබෙනවා, ස්වභාව ධර්මය ඔබේ ගුරුවරයාය කියලා. අපි එය අමතක නොකල යුතුයි.

සාමාන්‍යයෙන් පින්තූරයක් දිහා බලලා කෙනෙක් මොකක්ද කියලා අහනවා. ඒත් අපි මලක් දිහා බලලා අහනවද මේකෙ තේරුම මොකක්ද, මේකෙ පාට ඇයිද කියලා. අපි කරන්නේ වින්දනයක් ලබන එක. ගඟක පෙණ නැගෙනකොට, තිත්ත පැටව් නටනකොට අපි අහන්නෙ නැහැ තේරුම මොකක්ද කියලා. වින්දනයක් පමණයි ලබන්නේ. වින්දනය එක එක්කෙනා විවිධ මට්ටමින් කරන්නේ. හොඳ වින්දනයක් සඳහා දීර්ඝ ගමණක් ඇවිත් තියෙන්න ඔනෑ. රසවින්දනය ලබන පුද්ගලයාටත්  අපි වගේම දීර්ඝ ගමණක් යන්න තියෙනවා. ගලක් උඩ එකපාරක් දෙපාරක් ඇවිද්දාම පාරක් හිටින්නේ නැහැ. ඒත් සෑහෙන පාරක් ආවා ගියාම පාරක් සටහන් වෙනවා. ඉතින් ඒක උත්සාහ‍ය පිළිබඳ කාරණයක්.

ලෝකයේ නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් නිර්මාණ කරනවා විතරක් නෙවෙයි.තමන්ගේ නිර්මාණ වෙනුවෙන් වාචිකවත් පෙනී සිටිමින් ඒ ගැන කියනවා. ලියනවා. මෙතැනදී ඔබ අදහස් කරන්නේ එවැනි පෙනීසිටීමක් අවශ්‍ය නැහැ කියලද?

මම නම් ඇත්ත වශයෙන්ම කියන්නේ නිර්මාණයකට නමක් දාන්න ඕනෑත් නැහැ. මොකද අපි නිදහසේ අඳිනවානම් රසවිඳින පුද්ගලයාටත් නිදහසේ රසවිඳිය හැකි විය යුතුයි. සීගිරි ගලේ නිර්මාණ කල පුද්ගලයාට, සමාධි පිළිමය කල පුද්ගලයාට ඕන නම් ලියන්න තිබුණා මේ අහවල් නිර්මාණයයි, මගේ නම මේකයි කියලා. ඒත් එහෙම දෙයක් කරලා නැති නිසා, අපි  කොච්චර ඒ නිර්මාණවල රසය විඳිනවද? නිර්මාණකරු සොයායාමත් කලාවේ එක්තරා රසයක්. ඒක හරි අමාරු ක්‍රියාවක්.

අපි චිත්‍ර අඳින්නේ කාටවත් පෙන්නන්න නෙවෙයි. මම අදින්නේ මටම රසවින්දනයක් ලබා ගන්නයි. මම හොඳට කෑමක් හැදුවොත් අනික් අයත් රසයි කියාවි. හදන වෙලාවෙ ඒක තිත්ත වෙන්න පුළුවන්. ඒත් ටිකක් කනකොට ඒ තිත්ත රසය පහවෙලා යන්නට පුළුවන්. කලාකාරයෙක් පින්සල්, පැන්සල් අරන් කරන්නේ මැජික් පෙන්වීමක් නෙවෙයි. කිසියම් වින්දනයක් ලබා දීමයි කරන්නේ. තමන්ටම තමයි එහි ප්‍රතිඵලය අත්වන්නේ.

ඔබ කැන්වසය ඉස්සරහට යන්නේ නිර්මාණය ගැන දළ අදහසක් ඇතිවද? නැතිනම් කැන්වසය මත වැඩකිරීම හරහාද මුළුමණින්ම නිර්මාණය ආරම්භ වී ගොඩනැගෙන්නේ?

අදහස කියන එක තමා ලබපු අත්දැකීම් සම්භාරයෙනුයි එන්නේ. ස්කෙච් ගහගෙන, කතාවක් ලියාගෙන ඇවිත් මේක කරන්න බැහැ. නිර්මාණය කියන එක ක්ෂණිකව එන දෙයක්. හදවතිනුයි එය එන්නට ඕනෑ. හරියට විදුලි කොටනවා වගේ. පොඩි ලමයෙක් හිනා වෙනකොට අපි වශී වෙනවනේ. ඒක ක්ෂණිකව හදවතින් එන බව අපි දන්න නිසා. එයා අභ්‍යාසය ආරම්භ කරන නැවුම් තැනයි ඒ. එතනදි හරිම පිරිසිදුයි. ඇත්තයි ප්‍රකාශ කරන්නේ.

චිත්‍ර ඇතුළු හැම නිර්මාණයක්මත් එහෙමයි. කල්තියා ප්ලෑන් කරලා, අහවල්ලු පිළිගත්තා කියලා, ඒකට වහල්වෙලා නිර්මාණ කරන්න බැහැ. ඒ වගේම ඒකට තමන් ළඟ ශක්ති සමුදායක් තියෙන්නට අවශ්‍යයි. අපි ලණුවක් ඇදලා, අනිත් අය පනින නිසා මටත් පනින්න පුළුවන් කියලා හිතුවාට පනින්න බැහැනේ. ඒකට පළපුරුදුකම් සම්භාරයක් තිබිය යුතුයි.

ඒක ආධ්‍යාත්මිකව අරගෙන එන දෙයක්ද? පුද්ගලයෙකුට ආභාෂය හරහ වඩාගත හැකි දෙයක්ද?

ඒක ඇතුළතින් ගොඩනැගෙන දෙයක්. දවසකින් දෙකකින් එය ගොඩනැගෙන්නේ නැහැ. මනස හරහා අභ්‍යාසයෙන් තමයි ඒ පළපුරුද්ද ගොඩනැගෙන්නේ. බුද්ධත්වයට පත්වෙනවා කියන්නේ මනස ඉහලම තැනට ගෙනයෑමයි. මම ළඟදී දඹදිව ගිහින් සියළු වන්දනීය ස්ථාන බැලුවා. ඒවා බැලුවාම අමුතුම හැඟීමක් එන්නේ.

(2011 නොවැම්බර් 27 දින රාවය පුවත්පතේ පළවූ ලිපියකින් උපුටාගත් කොටසකි)