Friday, October 15, 2010

බෙනට් රත්නායක, සුළඟ එනු පිණිස සහ Flanders

ජීවිතේ හරිම කාර්යබහුල වෙමින් පවතින කාලයක් මේක. සිකුරාදා හවස් වරුවේ වැඩ කීපයක්ම ප්ලෑන් කරලයි තිබ්බෙ. ඉගෙනීම් කටයුතු දෙකක් ඒකෙන් මූලික වෙලා තිබ්බා. ඊට අමතරව දවල්ට ආහාර වේලක් උයා බඩ පුරවාගැනීමද මූලික අවශ්‍යතාවයක්නෙ. ඒ වගේම කියවීම අතරමඟ නතරකර තිබූ පොතක්ද, සිකුරාදා හවසට සෙට් වීමක්ද ප්ලෑන් කර තිබෙනවා. මේ සියලු වැඩ නවතා, බඩගින්නේ, මම මෙය ලියමින් සිටිමි. මෙසේ ලිවීමට මට බල කරන ලද චූදිතයන් තුන්දෙනෙකි.

1. බෙනට් රත්නායක නැමති "සිනමාකරුවා"
2. Flanders කියන ප්‍රංශ ච්ත්‍රපටය හැදූ Bruno Dumont
3. RearGate ලියන චාමී කියන බ්ලොග්කරුවා

එකින් එක ගැන වෙනවෙනම බලමු දැන්....













බෙනට් රත්නායක තමන්ගෙ "ඉර හඳ යට" කියන බයිස්කෝප් එක ගැන කියද්දි කියපු කට කැඩිච්ච කතාවක් මට මුලින්ම අහන්න ලැබුනෙ සිනේ බූන්දියෙන්. එයා කියනවලු "හමුදාව ගැන විවේචනය කලා නම් මීට වඩා සම්මාන ගන්න තිබුනා" කියලා. මෙය එතරම් පැහැදිලි කතාවක් නොවුවත් මේක දැක්කහම මට හිතෙන්නෙ එයා හිතාගෙන ඉන්නවා හමුදාව විවේචනය කරන චිත්‍රපටි වලට සම්මාන හම්බවෙනවා කියලා. අනිත් එක එයා කියන්නෙ "මට ඕනේ නම් හමුදාව විවේචනය කරලා චිත්තරපටියක් හදන්න පුලුවන්. ඔය අනිත් අය(සම්මාන ගත්ත අයා හැදුව වගේ. ඒ කරලා මටත් ඔය ලොකු සම්මාන ගන්න තිබුනා. ඒත් මම එහෙම කරේ නැහැ..." වගේ කතාවක්.
දැන් පොඩ්ඩක් බලමු කවුද සම්මාන ගත්ත අය කියලා. ඈත අතීතයට නොයා මෑතකදී මුලින්ම මට මතක් වෙන්නෙ හඳගම. ඊට පස්සෙ ප්‍රසන්න විතානගේ,විමුක්ති ජයසුන්දර සහ සුදත් මහදිවුල්වැව. හඳගම එයාගේ "මේ මගේ සඳයි" සිනමාපටයට ටෝකියෝ සිනමා උත්වයෙදී හා සින්ගප්පුරු උළෙලේදී සම්මාන ගන්නවා. ඊට පස්සේ ප්‍රසන්නගේ පුරහඳ කළුවර , ඉර මැදියම සම්මානයට පාත්‍රවෙනවා. විමුක්තිගේ සුළඟ එනු පිණිස 2005 දී කාන් සම්මානයක් ගන්නවා. සුදත් මහදිවුල්වැව සම්මානයක් ගත්තද කියලානන් මට මතක නැහැ. කොහොම උනත් මේ හැමෝටම "හමුදාව විවේචනය කලා", "යුද්ධය ගැන වැරදි ප්‍රතිරූපයක් මැවුවා", "හමුදාවේ මෙව්වා එක බින්දා" කියලා චෝදනා ගොඩාක් එල්ල වෙනවා. ඉතින් බෙනට්ට අනුවත් මෙයාලා හමුදාව විවේචනය කරලා. ඒ හින්දා තමයි මේ හැමෝම සම්මාන ගන්නෙ. ඒත් එහෙම කරන එක හරි නරකයි. ඉතින් උන් නරකයො. කක්කි බබාලා. මම හොඳ බබා. ඒකනෙ අවසානයේ මේ මනුස්සයා කියන්නෙ.

තව ප්‍රශ්නයක් තියනවා. මෙතන මෙයා හමුදාව කියල අදහස් කරේ මොන හමුදාව ගැනද දන්නෙ නැහැ. පොදුවේ ලොකේම ඉන්න සියලුම හමුදාවන් ගැනද, නැත්නම් ලංකාවේ හමුදාව ගැන විතරක්ද දන්නෙ නැහැ. මොකද ඒ දවස් වල මට මතකයි මේ වගේ ලංකාවේ හමුදාවට "කෙලින"(එයාලා කියන විදිහට) චිත්‍රපටි වලට සම්මාන දීම විජාතික කුමන්ත්‍රණයක් කියල අදහසක් ප්‍රචාරය කරගෙන ගියා. හොඳයි...ඒක එහෙමයි කියමුකො(විහිලුවට වගේ). ඔන්න මමත් ඒ අදහසට එකඟ උනා. ඔහොම සම්මාන දෙන එක කුමන්ත්‍රණයක්...!!!













එතකොට මට ආපහු එන්න වෙනවා විමුක්තිගේ "සුළඟ එනු පිණිස" ලඟට. ඒකට සම්මාන දෙන ජූරියේ ප්‍රධානියා ඉරාන මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමි. අහලා තියන විදිහට මේ සම්මානය දෙද්දී ජූරිය බෙදුනලු. කට්ටියකට මිරැන්ඩා ජූලී (Miranda July)ගේ චිත්‍රපටයට (Me and You and Everyone We Know) සම්මාන දෙන්න ඕනේ උනාට අබ්බාස් කියරොස්තාමි විමුක්තිගේ චිත්‍රපටියට සම්මානය දෙන්න ඕනේ කියලා කියා සිටියාලු. අන්තිමටම සිනමාපට දෙකටම සම්මානය ලැබුනා. මේක මම අහපු කතාවක්. අබ්බාස් කියරොස්තාමී කියන්නේ චිත්‍රපට වලට ඉතා දැවැන්ත වාරණ රටාවක් ගෙනියන රටක් වන ඉරානයේ මහා සිනමාකරුවා. ඉතින් ඒවාට මුහුණ දෙමින්, ඒවා සමඟ ගැටෙන්නේ නැතිව සිනමාව කරන අයෙක් තමයි ඔහු. නමුත් ලෝක පූජිත සිනමාපට රැසක් ඔහුගේ අතින් බිහි වෙනවා. මේවාට ඉරාන රජය මගින් තහංචි එහෙම වැටෙන්නෙත් නැහැ.කට්ටිය කියන විදිහට මෙයා මේ කුමන්ත්‍රණයේ කොටස් කාරයෙක් වෙන්න ඕනෑනෙ. ඉතින් ඔහු බටහිර ඒජන්තයෙක් කියලා කියන්න පුලුවන්ද මෙයාගෙ පැටිකිරිය අනුව?
කට්ටියට එන්න පුලුවන් තව අදහසක් තමයි මෙතන ජූරියට පිටින් ඉන්න අයගෙ බලපෑම ආවා කියලා. එහෙම ලංකාවේ වගේ එහෙ වෙනවද කියන්න දන්නෙ නැහැ. මොනව උනත් අපි දන්නෙ නැති හින්දා එහෙම උනා කියල හිතමුකො.












ඔන්න දැන් දෙවනි චූදිතයව කූඩුවට නග්ගන්නයි යන්නෙ. ගිය සතියේ මට බලන්න හම්බ උනා අපූරු සිනමා පටයක්. මේකේ නම Flanders. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruno Dumont කියන ප්‍රංශ සිනමාකරුවා. ඒ කියන්නෙ මේක එලියට එන්නේ මෙච්චර වෙලා කතාකරපු කාන් සම්මාන උත්සවය තියන ප්‍රංශයෙන්. සුළඟ එනු පිණිස සම්මාන ගන්නෙ 2005 දී. මේ චිත්‍රපටය ඊට හරියටම අවුරුද්දකට පස්සෙ 2006 කාන් එකේ ප්‍රධාන සම්මානයක් වෙන ජූරියේ විශේෂ සම්මානය(Grand Prize of the Jury) ගන්නවා.
මොකද්ද මේකේ ඇති වැදගත්කම? ඔබ මේක නරඹලා තියනවනන් ඒක දැනටම තේරෙනව ඇති.
මේක ගලාගෙන යන්නෙ මේ වගේ සිද්ධි දාමයක් ඔස්සේ.
ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ ගමක ගොවිපොලක් කරගෙන යන තරුණයෙක් හමුදාවට ඇතුලු වෙනව. ඔහුගේ මිතුරිය (ඔහු ඇය ඔහුගේ පෙම්වතිය බව නොකියයි )මේ නිසා දුකින් පසුවෙනව. ඇය වඩාත් දුක්වන්නේ ඇයගේ තවත් පෙම්වතෙක් වන තරුණයෙක්ද මේ සමඟ හමුදාවට බැඳීමයි. ඔවුන් දෙදෙනාම එකම රෙජිමේන්තුවේය. උන් ගිය පසු එම තරුණියට මානසික ප්‍රතිකාර ගැනීමටද සිදුවෙනවා. යාලුවො දෙන්නා යවන්නෙ මැදපෙරදිග ඉස්ලාම් රටකට. එහෙදි මෙයාලගෙ හමුදා කණ්ඩායම කිසිම වග විභාගයක් නැතිව මිනිස්සු මරල දානවා. තව, ගෑනු කෙනෙක් හම්බ උනහම කණ්ඩායමක් විදිහට ඇයව දූෂණය කරනවා. එයාලට පොඩි ළමයින්ව මරන්නත් සිද්ද වෙනවා.
චිත්‍රපටිය ගැන වෙනමම සටහනක් දාන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මෙතන කියන්න යන දේට මේ ටික ඇති.
ඉතින් මේකේ පෙන්නනවා යුරෝපීය(ප්‍රංශ) හමුදාවන් මැදපෙරදිග පැත්තෙ මොනවද කරන්නෙ කියලා. මේ රට ඉරාකය හරි ඇෆ්ගනිස්ථානය හරි වෙන්න පුලුවන්. අපේ බෙනට්ට අනුව මේකත් හමුදාව විවේචනය කරන ෆිල්ම් එකක්නෙ. දැන් තමයි මාර ප්‍රශ්නයක් උද්ගතවෙන්නෙ. මාර වැඩේනේ. යකෝ තමන්ගෙ රටේ හමුදාව විවේචනය කරන ෆිල්ම් එකකට ප්‍රංශයෙන්ම සම්මානයක් දෙනවා. ඔය රටවල දේශප්‍රේමියෝ නැද්ද හැබෑට. බෙනට් වගේ...

ඒ අතරෙ තව පොඩි අතුරු කතාවකුත් මතක් උනා. සුළඟ එනු පිණිස සිනමා ශාලාවකින් බලපු මගේ යාලුවෙක් ඒ දවස්වල කිව්වා "ඒකෙ තියෙන්නෙ බැද්දෙ _ _ _ (සංසර්ගයේ යෙදෙන ) එව්ව බන්" කියල. මම ඒ වෙද්දි ඒක බලල තිබුනෙ නැහැ. ඉතින් Flanders චිත්‍රපටිය බලද්දි මට ඒ කතාව මතක් උනා. "යකෝ මේකේ තියෙන්නෙත් බැද්දෙ .........". (ඉදිරියෙදී මේ චිත්‍රපටය ගැන ආපහු ලියන්න හිතාගෙන ඉන්න නිසා ඉහත කතාව පැහැදිලි කිරිමට යන්නෙ නැහැ).කොහොමහරි, සුළඟ එනු පිණිස රටේ ප්‍රතිරූපය හානි කරාලුනේ. දැන් බලපුවහම මේ ප්‍රංශ චිත්තරපටියත් කරල තියෙන්නෙ ඒකමයි. ඒත් ඒකට මෙන්න බොලේ සම්මාන දෙනවා. පිස්සුද මන්දා....
ඔන්න දැන් තුන්වෙනි චූදිතයව කූඩුවට නග්ගන්න වෙලාව හරි. RearGate ලියන චාමී නැමැති බ්ලොග්කරුවා (නිකන් ඉන්න බැරුවට ) සුළඟ එනු පිණිස ගැන සටහනක් ලියල තිබුනා. ඒ සම්බන්ධව මටත් තියෙන්නෙ සමාන අද්දැකීමක්. ඉතින් ඒක දැක්කට පස්සේ හිතේ තිබුන කේන්තිය නිසයි මේක මෙහෙම ලියවුනේ. ලංකාවේ සිනමා ලෝලීන්ට දිගටම "අබා සහ කොබා" වැනි නාඩගම් බලමින්, බෙනට් වැන්නන්ගේ ටෝක්ස් අහමින් සිටීමට සිදුවේවි. ඉතින් චාමී, අපි මෙහෙම මේවා ලියලා "කාලකණ්ණි" සතුටක් ලබමු.....



11 comments:

  1. "Flanders" වගේ එකක් ලංකාවේ හැදුවනම් හදපු එකාව හිරේ විලංගුවේ දානව ෂුවර්.

    ReplyDelete
  2. මං මේ නිකන් වගේ කියන්නෙ හොදේ....ගනන් ගන්න එපා...
    ගිය සැරේ නොබෙල් සාම ත්‍යාගය හම්බුනේ කාටද?....එවකට ජනාදිපතිවෙලා අවුරුද්දක් වත් නැති ඔබාම මහත්තයට....මොකටද ත්‍රස්තවාදය නැති කිරීමට(උත්සාහ දැරීමට වෙන්න ඇති )...මේ අවුරුද්දේ කොහෙවත් නැති චීන හිරකාරයෙකුට..මට හොදටම විශ්වාසයි අපේ රටේ 99% උගේ නම මීට කලින් අහල තිබ්බේ නෑ(මටනන් දැනුත් මතක නෑ)...ඉන්දියාවේ නරක පැත්ත මහ ඉහලින් පෙන්නපු Slumdog Millionaireට Oscar සම්මානය හම්බුනා...ඇමරිකන් කාරයෝ මැද පෙරදිග දාන වැඩ පෙන්නන HurtLockerටත් එමමයි...ඉතින් හිසක් ඇත්තෝ තේරුම් ගනිත්වා.. මේව facts විතරයි..අදහස් එහෙම නොවේ...

    ReplyDelete
  3. මේ 2005 දී ශ්‍රී ලංකාව ගැන ලියවුනක් නොවේ. සුළඟ එනු පිණිස චිත්‍රපටය කෑන්ස් සිනමා උළෙලේදී ‘රන් කැමරාව’ සම්මානයෙන් පිදුම් ලැබීම පිළීබඳව ලද සුබපැතුමකි.

    යුද්ධයද නැත, සාමයද නැත, සුළඟ පමණි හමන්නේ.
    තවමත් හිරු පායයි, එහෙක් දෙවිඳුන් අතුරුදහන් වී ඇත.
    වෘක්ෂ දේවතාවන් දෙපළකට මැදිව තනිවූ නිවසක් මුඩුබිමේ.
    ඉන් එහා ඇති දියකඩින් නැගෙයි සුරතක් යදිමින් උදව්වක්.
    පුරාතන ස්ත්‍රියක් සොයායයි ප්‍රේමයක්.
    නන්නාඳුනන්නෙකු මියැදෙයි සොල්දාදුවෙකු අතින්.
    පෙළෙයි වාවාගත නොහී ඒ පාපය.

    විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටය ගලන්නේ කවියක් පරිද්දෙනි. රුසියානු චිත්‍රපට අධ්‍යක්ෂක අන්ද්‍රෙයි තර්කොව්ස්කිගේ සිනමා සිත්තමක් මෙන් ඒ තුල වචනය අභිබවා රූපය නැගී සිටී. ශ්‍රී ලංකාවේ උතුරේ සටන්කාමීන් සහ රජය අතර පැවති සිවිල් යුද්ධය හමාර වී සටන් විරාමයක සේයා මතුවී ඇත. එහෙත් තවමත් යුද්ධයේ අනිටු විපාක විසින් මේ භූමිය තව තවත් තැලී පෙලී යයි. මේ නිසාම විමුක්තිගේ චිත්‍රපටය මේ නියත භ්‍ර‍ාන්තියෙන් වෙලී ඇත‍. මේ බිම්කඩේ දිවිගෙවන බොහොමයක් ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත උමතුවේ අඳුරින් වෙලී ඇත. වචන වල අරුත් සුන් වී ගිය කල හැඟීම් ප්‍රකාශනයේ කදිම මාධ්‍යය නම් සිනමාවයි. එය ඔබ පය ගසා සිටින භූමියේ නැවුම් පසින් මතුව එන සුවඳක් ඉව කරන්නාක් බඳු නොවේද?

    විමුක්තිගේ මේ ජයග්‍රහණය පිළිබඳව මම ආඩම්බර වෙමි. එය ශ්‍රී ලංකාවට ඇත්තෙන්ම අද දින අවශ්‍යය. ඒ මන්ද යත් අප එකිනෙකාගේ ඇත්තේ එකම සුවඳක්‍‍‍‍, වර්ණයක්, රසයක් බැවිණී. සුළඟ එනු පිණීසෙහි මේ සියල්ල කැටි වී ඇත.
    මේ ඔබේ හිතවත්,
    ශාජි.එන්. කරූන්
    (ඉන්දීය සිනමාකරු)
    -පරිවර්තනය සෞම්‍ය ලියනගේ
    (උපුටා ගැනීම නොවැම්බර් ව්‍යාපාරය විසින් සංස්කරණය කරන ලද “කවුළු දොර’රින්න - සුළඟ එනු පිණීස මාධ්‍ය සංවාද කතිකාව”ග්‍රන්ථයෙනි - පි. 49)

    ReplyDelete
  4. @ මද්දු,
    ඔයාගෙ facts නිවැරදියි.
    මේවා ඇතුලේ ක්‍රියාත්මක වන බව පෙනෙන දේශපාලනය ගැන මටත් ලොකු විවේචනයක් තියෙනවා.
    නමුත් ප්‍රශ්නේ දේශපාලන හේතු මත නිර්මාණයක් වාරණය කොච්චර සදාචාරසම්පන්නද කියන එක.

    Slumdog කියන්නෙ මට නම් පට්ටම ෆිල්ම් එකක්. ඉන්දියාවේ කැත පැත්තක තියලා ඒක බලන්න පුළුවන් මචං. ඇත්තම කියනවනං ඉන්දියාව ගැන මගේ ඔලුවේ තියෙන රූපය Slumdog නිසා වෙනස් උනේ නැහැ.
    ලංකාවේ මෑතක හැදුන සිනමාත්මකයි කියපු ගොඩක් ෆිල්ම් වලට
    (ඉර මැදියම/සුළං කිරිල්ලී/ පුරහඳ කළුවර/මේ මගේ සඳයි/තනි තටුවෙන් පියාඹන්න/අක්ෂරය/සුළඟ එනු පිණිස)
    ලාංකීය සමාජය ඇතුලෙදි උනේ මේවා සිනමා කෘති හැටියට සාකච්ඡා නොකර ලංකාව ගැන වාර්තා චිතුපට විදිහට අරගෙන පතුරු ගහපු එක. ඒකෙන් ඒ නිර්මාණ වලට වගේම ලොකු අසාධාරණයක් උනා.

    ReplyDelete
  5. @charmi
    ඇත්ත.....
    දේශපාලන හේතු මත නිර්මාණයක් වාරණය කොච්චර සදාචාරසම්පන්නද කියන එක ප්‍රශ්නයක් තමයි.
    ඒ වගේම දේශපාලන හේතු මත නිර්මාණයක් සම්මානයට හෝ ඇගයීමට පාත්‍ර වීම කොච්චර සදාචාරසම්පන්නද කියන එකත් ප්‍රශ්නයක්.
    දේශපාලන හේතුන් මත වාරනයට ලක්විය යුතු හා ඇගයීමට ලක්විය යුතු කෘති මගහැරීමෙන් පාඩුව සිදුවන්නේ රසිකයාට.

    slumdog කියන්නේ හොද නිර්මානයක්,නමුත් එහි යටින් ඇති වියමන වෙනත් අරමුනු සදහා සෑදූවක්,oscar සම්මානයත් එහිම අතුරු ඵලයක් විතරයි.
    තවත් ලස්සන උදාහරනයක් තමයි city of god කියන බ්‍රසීල චිත්‍රපටිය,බ්‍රසීල ජාතිකයන් ලැජ්ජාවට පත්කරන දර්ශන ඇතුලත් එහි අධ්‍යක්ශකවරයා බ්‍රසීල ජාතිකයෙක්,හරියට අපිට විමුක්ති හෝ හදගම මෙන්,city of godට oscarඇතුලුව සම්මාන ගනනාවක් ලැබුනා,අකමැත්තෙන් හෝ එය පෙන්වීමට බ්‍රසීල රජයට සිද්ද වුනා,අතුරු ප්‍රතිඵලයක් වුනේ බ්‍රසීලයට යන සංචාරකයෝ අඩුවීම.දැන් සසදන්න හදගම හා බ්‍රසීල ජාතික Fernando Meirelles අතරෙ වෙනස.හදගමටත් මීට වඩා හොද ජාත්‍යන්තර සහයක් ලැබුනානම් තහනමින් වැලකෙන්න තිබුනා,ඊටත් වඩා ලේසියෙන් අම්මයි වැඩුනු පුතයි නිරුවතින් නාන දර්ශනය අයින් කරානම් තහනමින් මිදෙන්න තිබුනා.(අපේ රටේ සංචාරක කර්මාන්තය නං වැඩි වෙන්නඇති,වයසක ගෑනු පොඩි කොල්ලන්ව හොයන්න මෙහෙ ආපු නිසා ).ඇත්ත, හදගම යනු රැඩිකල්,යකාටවත් බය නැති,ලෝකය දකින සම්භාව්‍ය කාරයෙක් කියලා හිතල අපි පොඩි ස්වයං වින්දනයක් ගන්නවා,නමුත් හදගම දන්නවා එයාට වැරදුනා කියල,(දැන් එයා හදන්නේ ලමා චිත්‍රපටි )
    තවත් ඒ වගේම සම්මානයට පාත්‍ර වුනු පොතක් තමයි ඉන්දියානු ලේඛකයෙකු අතින් රචිත the white tiger කියන පොත,ඇත්තටම එය හොද නවකතාවක්,නමුත් එහි කතාව දිව යන්නේත් ඉන්දියාවේ අදුරු පැතිකඩ විකුනමින්,Booker සම්මානයට ඒ ඇති.ඔය වගේ උදාහරණ නම් ගොඩයි.
    නමුත් ඔයාගේ අන්තිම තර්කයට නම් මම එකගයි,ලංකාව ඇතුලදී එය සංස්කෘතිය හා පටලොවගෙන ඒවා පතුරු ගැහැව්වා.හැබැයි අමතක කරන්න නරකයි ලෝකයත් ඒව බාර ගත්තේ වාර්තා හැටියට මිසක් නිර්මාන හැටියට නොවෙයි,සම්මාන දුන්නේ හිත සතුටුවෙන වාර්තාවක් ඉදිරිපත් කරාට මිස නිර්මානයට නොවෙයි.

    ReplyDelete
  6. @ මද්දු,
    අපි දෙන්නා කතා කරන්නෙ දෙකක් මද්දු.

    සම්මාන ගැන හෝ වෙනත් රටවල ප්‍රදර්ශනය නෙමෙයි මගේ ප්‍රශ්ණෙ.
    හොඳ ෆිල්ම් එකක් හොඳ හෝල් එකක බලන්න මට තියෙන අයිතිය. ඩිරෙක්ටර් ෆිල්ම් එක හදන්නෙ සම්මාන බලාගෙනද නැද්ද කියන එක මත අපි චිත්‍රපටය බලනවානම් අපි කරන්නෙත් ඔය කියපු සම්මාන මණ්ඩල කරන දේම තමයි.

    ඔස්කාර් සම්මානය ස්ලම්ඩෝග් බලන්න පෙළඹීමක් කලා තමා. නමුත් ෆිල්ම් එක අපිට කොච්චර දැනෙනවද කියන එක තමයි වැදගත්.

    සුළඟ එනු පිණිස ෆිල්ම් එක මචං පිටරට උන් බලලා මොනවා හිතුවත්
    (මගේ පෝස්ට් එකේ ලිව්වෙ මේ වෙන දේවල් වල හැටියට අමුතුවෙන් ෆිල්ම් බලලා හිතන්ඩ දෙයක් උන්ට දැන් නැතුව ඇති කියන එක)
    මට දැනුනේ යුද්ධය කියද්දි මට දැනුන මුඩුම හැඟීම ඒ විදිහටම ඒ ෆිල්ම් එකේ තියෙනවා. මම කියන්නෙ බඩදරු අම්මලා ගස්උඩ තියාගෙන සෙක්ස් කරන ඒවා ලංකාවේ තියෙනවා කියන එක නෙමේ. ඒ දර්ශණෙ දකිද්දි එන කාලකන්ණි ඉෆෙක්ට් එක ඇත්තක්. සිනමා භාෂාව තුල මේක වෙනස් ප්‍රකාශනයක්.

    ඔයා කියනවා වගේ සම්මාන ඇතුලේ වැඩකරන දේශපාලනයට මමත් එකඟ නෑ. ඒක මහා විශාල සංවාදයක්.

    හඳගම ගැන මචං මගේ තක්සේරුව වෙනස්. මම හිතන්නෙ ලංකාවේ මෙතෙක් බිහිඋන හොඳම දේශපාලන සිනමා කරුවා. (හැබැයි අක්ෂරය කියන්නෙ එයාගෙ ලොකු මිස්ටේක් එකක්. ඒ ෆිල්ම් එකට මමත් කැමති නෑ. අම්මයි පුතයි ඉන්න සීන් එක හින්ද නම් නෙමේ. මට හිතන්නේ හඳගම ෆිල්ම් එකකින් තියරි උගන්නන්න ගියා කියලා.)
    හැබැයි සිංහල ෆිල්ම් එකක් බලපුවාම සතියක් හමාරක් යනකං ඔලුව තෝන්තු උනානම් ඒ හඳගමගේ එකක්.
    හඳගමගේ 'මේ මගේ සඳයි' කියන්නෙ මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්. මට ලියන්න ඕනෙ කරලා තිබුනේ ඒක ගැන. ඉස්සරහට බලමු.

    ඔයාගෙ මැදිහත් වීමට මං ගොඩක් කැමතියි මද්දු. බොහෝදෙනා මගහැරයාම තෝරාගන්නා කාලයක ඔයා අභිමුඛවීම තෝරාගන්නවා. ඔයා හොඳ යාලුවෙක්.

    ReplyDelete
  7. මද්දු සහ චාමී පටන්ගත්ත සංවාදය හරිම වැදගත්. මද්දු දුන්න උදාහරණ වලින් slumdog සහ City of God හැර අනිත් ඒවාට මමත් එකඟයි. ඒවා ගැන මටත් තියෙනවා විවේචන ඔය විදිහටම.HurtLocker ගැන මේ පෝස්ට් එකට දාන්නත් අදහස් කරගෙන හිටියා. ඒත් දිග වැඩිඋන නිසා ඒක මගහැරුනා. ඔය හැම සම්මානයකටම දේශපාලනය අඩුවැඩි වශයෙන් බලපානවා. ඒත් හැමවෙලාවෙම ඒක එහෙම වෙන්නෙත් නැහැ. අනික දුප්පත් රටක අවුල් පැත්ත පෙන්නන චිත්‍රපටි වලට සම්මාන දෙන්න බලාගෙන ඉන්නවා කියලා මම හිතන්නෙ නැහැ.

    slumdog ගැන බැලුවොත් මම අහපු, දැකපු විදිහට ඒක ජනප්‍රිය වෙන්නෙ ඉන්දියාවේ අවුල් පැත්තක් පෙන්නන හින්දා නෙවෙයි කියලයි හිතන්නෙ. ඒක හිට් එකක් වෙන්නෙ ඒකෙ කතාව, ආදරය, සංගීතය, මනුෂ්‍යත්වය වගේ දේවල් නිසා. මොකද ඉන්දියාවේ අප්සට් පැත්තක් පෙන්නුවා කියලා ඒක බටහිර සාමාන්‍ය මිනිහට එච්චර ආතල් එකක් නෙවෙයි. මේකට ඔස්කාර් සම්මානයක් හම්බවෙන්න මේ හිට් වීමත් සෑහෙන්න බලපානවා.
    අනිත් එක සමාජ ප්‍රශ්න ගැන කතාකරන චිත්‍රපටි ගොඩක් වෙලාවට සමාජයේ අවුල් පැති පෙන්නනවා. ඒවා මග හැරලා හොඳ ප්‍රතිරූප මවන චිත්‍රපටිත් හැදෙනවා. Lagaan ගත්තොත් ඒකෙන් ඉන්දියාව ගැන හොඳ චිත්‍රයක්නෙ මැවෙන්නෙ. ඒක ඇමරිකාවේ එහෙම හිට් වෙනවා. හරිම ශෝක්. මාත් ආසයි ඒකට. ඒත් ඉන්දියාවේ බාලවයස්කාර ළමයි වැඩකරනවානේ. ලඟදි මම දැක්කා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවයට හදපු පිට්ටනියේ පොඩි ලමයි වැඩකරා කියලා. ඉතින් ඕක දැනිච්ච කලාකාරයෙක් මොකක් හරි නිර්මාණයක් කලොත් ඒක මලාට හොඳ චිත්‍රයක් මවන එකක් වෙන්නෙ නැහැනෙ. ලෝකේ හැම රටේම එහෙම නිර්මාණ හැදෙනවා.ඒවා සම්මානත් ගන්නවා. එක උදාහරණයක් විදිහට තමයි මම Flanders ගැන කිව්වෙ. තව ඕනේ තරම්. slumdog එකේ පොඩි ගෑනු ලමයෙක් ගණිකාවක් වෙන එක ගැන කට්ටිය කියනව මට ඇහිලා තියනවා. Taxi Driver එකෙත් අවුරුදු 13ක වීදි ගණිකාවක් ඉන්නවා. City of God කියන්නෙත් ඇත්ත කතාවක්නෙ. ඇත්ත මගහැරලා ලස්සන ප්‍රතිරූප මවන්න පුලුවන්. ඒත් එහෙම හැදෙන ඒවා ගොඩක් වෙලාවට මහපොලොවෙ නෙවෙයි තියෙන්නෙ. අනිත් අය මොනව හිතයිද දන්නෙ නෑ කියලා නිර්මාණ කරන එක නිර්මාණයට කරන අසාධාරණයක්. ඒ හින්දා මම හිතන්නෙ කලාකාරයො තමන්ගෙ නිර්මාණ වලට එලියට එන්ඩ ඉඩදෙන්න ඕනේ නිදහසේ.
    ඊලඟට මට කියන්න ඕනේ දේ චාමී කියල තියනවා. කලානිර්මාණයක් මිනිස්සුන්ට නිදහසේ රසවිඳින්ඩ තියන අයිතිය නැති කරන එක පට්ට අසාධාරණයක්. අනිත් එක ඔය ප්‍රතිරූප අවුල් යනවා වගේ දේවල් නිසා ලංකාව ඇතුලේ ඒක තහනම් කරලා හරියනවද? එතන තියෙන්නෙ තනිකරම කුහක කමක්. ඒවා මිනිස්සු දකී කියලා ඇයි ඔච්චර බය? කාටද ඔච්චර බය?
    හඳගමගේ අක්ෂරය නම් මම බැලුවෙ නැහැ. ඒක හොඳ හෝ නරක හෝ මොනව උනත් ඒක තහනම් කරපු එකේ කිසිම සාධාරණ තර්කයක් නැහැනෙ. මිනිස්සුන්ට බලන්න දෙන්න කියලා මම කියන්නෙ. මොකටද බය?
    ඉස්සරහට Flanders ගැන කතාකරද්දි මේ මගේ සඳයි ගැනත් පොඩ්ඩක් කතාකරන්න මමත් හිතාගෙන ඉන්නවා චාමී...

    ReplyDelete
  8. @ Suji: ස්තුතියි සටහනට. මම ඔය පොත් දැක්කත් ගන්න අවස්තාවක් හම්බවුනේ නැහැ. ඒත් සරසවි එකට වෙලා ඕකෙන් සෑහෙන ප්‍රමණයක් කියෙව්වා...

    ReplyDelete
  9. චාර්මිගේ ලිපියේ දාපු කමෙන්ට් එක දැකලා චමිල මට මූනු මූනු පොතට එවපු එවපු ලින්ක් එකෙන් මම ඊයේ සුළඟ එනු පිනිස බා ගත්තා . . අද රෑට බලන්න තමයි ඉවසිල්ලක් නැතුව ඉන්නේ . . . බලලා ඉවර වෙලාම මේ සංවාදයට එකතු වෙන්නම් . . .

    ReplyDelete
  10. මද්දු, හඳගම ලමා චිත්‍රපටි හදන්නේ ඇයි කියල පහුගිය දවසක රාවය පත්තරේක ජනරංජන එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක තිබුනා.

    ReplyDelete
  11. @charmi


    ....හඳගමගේ 'මේ මගේ සඳයි' කියන්නෙ මාව පිස්සු වට්ටපු ෆිල්ම් එකක්....


    හඳයාගේ ''මේ මගේ සඳයි'' බාගන්න තැනක් දන්නවද​?

    ReplyDelete