Wednesday, November 30, 2011

හින්දි සිනමාවට අහිමි වූ කටහඬ

















මං අසූවෙ මුල පරපුරේ. යුද්ධය, නිදහස් වෙළඳපොල, ටෙස්ට් ක්‍රිකට්, කැසට්, ටීවී කියන්නෙ අපේ ජීවිතේම කොටස් වගේ. අපි බහ තෝරන කාලේ ලංකාවෙ මිනිස්සුත් ඔය දේවල්වල බහ තෝරමින් හිටියෙ කියල ඒ කාලෙ තේරුනේ නැති උනාට දැන් තේරෙනවා. ඔය මැජික් අස්සෙ තමයි අපි ලොකුවුනේ.

ටයි මාමගෙ හඬ සෙල්ලං වලින්, ජිප්සීස්ලගෙ ලුණු දෙහි වලින්, කුලසේන ෆොන්සේකගෙ වීර කතාවලින් අනූව දශකෙට ආවට පස්සෙ හදිසියෙ දකිනව අමීර් ඛාන් මධුරි ඩික්ෂිත්ගෙ අත අල්ලගෙන යනව. ස්කූල් බස් එකේ යනකොට හැමදාම මගදි දකින අහිංසක හුරුබුහුටි ගෑනු ළමයගෙ අතින් අල්ලගෙන යන්ඩ තිබ්බනන් කියල කොහොමත් හිතිලයි තිබ්බෙ ඒ වෙනකොට. එතනින් පස්සෙ ටීවි එකේ ඉන්නෙ අමීර් නෙවේ, චමිල. දුෂ්ටයෝ (ස්කූල් බස් එකේ අය්යල ) එක්ක සටන් කරල කොහොම හරි මං ඒ ගෑනු ළමයගෙ අත ගන්නවා. බැරි උනොත් දෙන්නම එකට දිවි නසාගන්නවා.
ඔන්න ඔය විදිහට තමයි රටේ නව හින්දි රැල්ල මගේ හීනෙට ගොඩවුනේ.

නොබැලුව හින්දි චිත්‍රපටියක් නැති තරම්. නම නොදන්න නලුවෙක් නිලියෙක් නැති තරම්. සමහරු කාමරේ බිත්තියෙ. එහෙම නැත්තන් පොත් කවරවල, කවකටු පෙට්ටිවල, ඇතුලෙ පිට, හැමතැනම. රේඩියෝ ටීවී වල හින්දි සින්දු යන වෙලාවට බහිරවය අරක්ගත්ත වගේ තමයි.

ඔය කාලේ මට ඇහෙනව එක හඬක්. ඒක අපේ අම්මල කැමති ලතා මංගේෂ්කර්ගෙත් අපි කැමති වෙලා හිටිය අනුරාධා පෞද්වාල්ගෙත් හඬට වඩා වෙනස් . මේ හස්කි හඬ ඊට වඩා වෙනස්ම තැනක තිබ්බෙ. සංගීතයත් නදීම් ශර්වාන්ගෙ තියා ආර්.ඩි බර්මන්ගෙ වගේවත් නෙමෙයි. පිටසක්වලින් ආපූ අපූරු සංගීතයක් වගේ මට ඒක දැනුනෙ. පස්සෙ මියුසික් ටෙලිවිශන් ආවට පස්සෙ මේක නිතරම ඒකේ පෙන්නන්ඩ ගත්තා. ලස්සන ලලනාවන්ගෙ වීඩියෝ එක්ක පෙන්නපු මේව හින්ද ඒ හඬ ටිකෙන් ටික මැකිලා පෙන්නන රූප ලොකු වෙන්ඩ ගත්තා. ඒත් ඒ සුමියුරු හඬට හැමදාම මගේ හිතේ ඉඩක් වෙන්වෙලා තිබ්බ කියල හිතෙනව. හැබැයි එහෙම හිතෙන්නෙ දැන් ආපහු හැරිල බලද්දි.

කොහොමහරි පස්සෙ ඒ හඬ ටීවී එකේ එහෙම ඇහෙන එක අඩුවෙලා යනවා. ඒ වෙනුවට වෙන නොයෙක් හඬවල් මතුවෙනව. සුනිදි චව්හාන්, ශ්‍රියා ගෝෂාල් වගේ අය.

ඒත් මීට අවුරුදු දෙකකට කලින් ආපහු ඒක මට හම්බවෙන්නෙ යූටියුබ් එකේදි. නමත් එක්ක. ඒකේ තිබ්බෙ නාසියා හසන්(Nazia Hassan) කියල. පස්සෙ මෙයාගෙ විස්තරයි අනෙක් සින්දුයි හොයන්ඩ ගත්තා. එතකොට තමයි තේරුනේ අපි වෙන කට්ටියගෙ කියල හිතාගෙන අහපු ගොඩක් සින්දු නාසියාගෙ කියලා.

නාසියා ඉපදෙන්නෙ 1965 දි පකිස්තානෙ කරච්චිවල ධනවත් ව්‍යාපාරික පවුලක. පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට ලැදී. දවසක් එංගලන්තෙ තිබ්බ සාදයකදි මෙයාට හම්බවෙනවා ෆෙරොස් ඛාන් කියන සිනමා අධ්‍යක්ෂකවරයා. ඔහුගෙ ඊලඟ චිත්‍රපටියෙ සින්දුවක් කියන්න මේ හිරිමල් නවයොවුන් කෙල්ලට ඔහු ආරාධනා කරනව. නාසියා ඒක පිළිගන්නව. මේ චිත්‍රපටිය තමයි 1980 හැදුන කුර්බානි(Qurbani). තවත් විශේෂ දෙයක් තමයි මේකෙ සංගීතය අධ්‍යක්ෂණය කරන්නෙ එංගලන්තෙ ඉඳන් වැඩ කරපු බිද්දු(Biddu) කියන සංගීතකරුවා. එයා තමයි හින්දි සිනමා සංගීතයට ඩිස්කො අරන් එන්නෙ(හින්දි ඩිස්කො කිව්වහම තවත් අමතක කරන්ඩ බැරි නමක් තමයි බාපි ලහිරි. ඩිස්කො ඩාන්සර් එකේ සංගීතය එයාගෙ. මේ දෙන්නම හින්දි ඩිස්කොවල පුරෝගාමියො ). ඉතින් මේක ඩිස්කො සංගීතය ඇසුරෙන් හැදෙන සින්දුවක්. "ආප් ජෙයිසා කොයි මෙරි" , මං අර කලින් කිව්ව මට මුලින්ම ඇහුන සින්දුවත් මේකම තමයි. පස්සෙ මේක වෙන වෙන රූපවලින් එක එක විදිහට වෙනස්වෙවී ආවට මං තවම කැමති ඔරිජිනල් එකට.


මේක සුපර් ඩුපර් හිට් එකක් වෙනව. ඒ විතරක්ද, 1981 ෆිල්ම් ෆෙයාර් එකේදි නාසියා හසන්ට හම්බවෙනව හොඳම පසුබිම් ගායිකාව සම්මානය. ඒ වෙද්දි එයාට අවුරුදු 16යි.

පස්සෙ 80 දශකයෙ ඉන්දීයාව අවට රටවල් වල නාසියා හසන් පොප් සංගීතයේ ප්‍රතිරූපය වෙන්නෙ ඒ හඬේ තියන හිත් ඇදගන්නා ගතිය හින්ද වෙන්ඩ ඇති. ඇත්තටම මෙයාගෙ හඬ විතරක් නෙවේ රූපයත් ලස්සනයි. පස්සෙ නාසියා එයාගෙ සහෝදරයත් එක්ක එකතුවෙලා ගායන යුවලක් විදිහට වැඩකරනව . ගොඩක් වෙලාවට මේ දෙන්නගෙ සින්දු පිටිපස්සෙ හිටියෙ බිද්දු. ඔහුගෙ සංගීතයෙනුත්, ඇගේ කටහඬිනුත් ඔප වැටිච්ච ඒ සින්දු ඒ යුගයට වඩා දශකයකින් දෙකකින් ඉස්සරහිනුයි තිබ්බෙ. අවුරුදු ගානකට පස්සෙත් තරුණ පරම්පරාව මේක අලුත් සංගීතයක්, අලුත් හඬක්, කියල වැළදගන්නෙ ඒ හින්ද වෙන්ඩ ඇති.


ඒ කොහොම උනත් නාසියා හසන්ගෙ හඬ හින්දි සිනමාවට අහිමිවෙනව. එහෙම නැත්තන් හින්දි සිනමාව විසින් ඒක බලෙන් අහිමි කරගන්නව. මං එහෙම කියන්ඩ හේතුව ඇයට ඉන්දියාව තුල ලැබුනු අවස්ථා බොහොම අඩුයි. අපි පොඩි කාලෙ ඒ කියන්නෙ 90 පටන්ගනිද්දි නාසියා හින්දි සංගීත ලෝකය දකින්ඩ හිටියෙ නෑ.

මේකට හේතු ගොඩක් තියනව. එකක් ඇය පකිස්ථානු කාන්තාවක්. ඉන්දියාවෙ වර්ගවාදය කියන එක සංගීත ලෝකෙ පවා ඒ විදිහටම තියනව(ලඟදි ජනප්‍රිය ගායකයෙක් වෙච්ච අබීජීත් හින්දි සිනමාවෙ ඉන්න පකිස්ථානු ගායකයන්ට ලොකු ටෝක් එකක් දීල තිබ්බ ). ඉන්දු-පකිස්ථානු ප්‍රශ්නෙ නාසියාටත් සෑහෙන්ඩ දැනුනා. ලංකාවෙ සෑහෙන්ඩ ජනප්‍රිය වෙච්ච "මේඩ් ඉන් ඉන්ඩියා" හදපු බිද්දු ඒක මුලින්ම ගායනා කරන්ඩ ආරාධනා කරල තියෙන්නෙ නාසියාට. ඒත් කොහොමද ඒක කියල ආපහු පකිස්ථානෙට යන්නෙ? ඒ හින්ද ඒක එයා බාරගත්තෙ නෑ. පස්සෙ තමයි ඒක අලීෂා කිව්වෙ.

නාසියා සංගීත ලෝකයෙන් අයින් වෙන්ඩ තවත් හේතුවක් වෙන්ඩ ඇති එයාගෙ රස්සාව හා විවාහය. එයා නීතීඥවරියක්. පස්සෙ ඇමරිකාවට ගිහින් එක්සත් ජාතින්ගෙ සංවිධානය එක්කත් වැඩ කලා. එයාගෙ විවාහයත් එච්චර සාර්ථකවුනේ නෑ කියල තමයි කියන්නෙ.

අනිත් බරපතලම හේතුව තමයි නාසියා හසන්ට 1993 දි විතර හැදෙන පෙනහලු පිළිකාව. ඒක නිසා එයාට ගොඩක් දේවල් අහිමි වෙනව. අන්තිමට අවුරුදු 35දි ඒ කියන්නෙ 2000 වසරෙදි ජීවිතෙන්ම සමුගන්ඩ සිද්ධවෙනවා. අවුරුදු 35ක් කියන්නෙ ගායන ලෝකෙදි නම් භද්‍ර යෞවනය.

ඒ විදිහටයි නාසියාගේ කටහඬ හින්දි සිනමාවටත්, ඒ ඔස්සේ අපිටත් අහිමිවෙන්නෙ.

එයා කියපු සින්දුවල වචන මට තේරුනේ නෑ. ඒත් ඒ හඬෙන් මට දැනුනෙ ඒ කාලෙ අපේ වටේ තිබ්බ ලෝකෙට වඩා වෙනස් ලෝකයක් ගැන හීනයක්. පස්සෙ ගොඩක් දෙනෙක් ඒ වගේ හීන දුන්නට ඒක මුලින්ම මට දුන්නෙ නාසියා හසන්.
ඒ වෙනුවෙන් එයාට උපහාරයක් විදිහටයි මේ සටහන ලිව්වෙ. මේ තියෙන්නෙ එයා ගයපු මං කැමතිම සින්දුව.


Monday, November 14, 2011

පොදු අවකාශයක් බවට පත්වූ වගයි...

















මෙතෙක් කල් පුද්ගලික අඩවියක් වූ මෙය අද සිට සමූහ අවකාශයක් බවට පත්වෙන බව මෙයින් දන්වා සිටිමු. කළා නිර්මාණ ගැන අපට දැනෙන අවංක සිතුවිලි මෙහි ලියවෙනු ඇත. තව, කවි, කෙටිකතා, නාට්‍ය ඇතුලු වර්ගීකරණය වන, නොවන, විවිධ නිර්මාණ මෙයට එක් කිරීම අපගේ බලාපොරොත්තුවයි.

රෑ රූ වලට හැඩයක් නැත. පරිමාවක්ද නැත...


Saturday, November 12, 2011

ජානේ තූ... යා ජානේ නා















මේක ගැන කොහොම ලියනවද කියල හිතාගන්ඩ බැරුව සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා. තවම ඒ හැටි පැහැදිලි විදිහක් කල්පනා වෙන්නෙ නෑ. ඒකට පිළියම මොනවහරි ලියන එක කියල අන්තිමටම හිතල ඔන්න වැඩේට බැස්සා.
මේ වැඩේ මෙච්චර අමාරු වෙන්නෙ මේ ෆිල්ම් එකෙන් හම්බවෙච්ච රසය වචන වලට පෙරලන්ඩ අමාරු හින්දා වෙන්ඩ ඇති.

ජානේ තූ යා ජානේ නා කියන්නෙ පාට පාට කැලෑ මල් මාලයක් වගේ. එක එක වර්ගෙ මල්. සමහර ඒවා ලස්සනයි. එච්චර ලස්සන නැති ඒවත් තියනව. වල් පැළ, කොළ එහෙමත් අතරින් පතර සෙට් කරල. ඒත් වැදගත්ම දේ තමයි ඒ හැම දෙයක්ම හරිම සූක්ෂම විදිහට එකට එකක් ගැලපෙන විදිහට අමුනල තියන විදිහ.
මේකෙ කතාව හරිම සරල, බොහොමයක් හින්දි චිත්‍රපටිවල තියන වට්ටෝරු කතාවක්. හනිමූන් එකට පිටරට ගියපු කුරුලු ජෝඩුවක් ආපහු එද්දි ඒ දෙන්නව පිළිගන්ඩ යාලුවො සෙට් එක එනව ගුවන් තොටුපොලට. ඒ අය අතරෙ ඉන්නව අලුත් යාලුවෙක් මේ දෙන්න ගැන කිසිම දෙයක් නොදන්න. අහස් යානෙ එනකල් වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ඒ අලුත් යාලුවට අනිත් කට්ටිය අර දෙන්නගෙ ආදර කතාව කියනව. ඕක තමයි ෆිල්ම් එක. සරලයි. 'මහප්‍රාණ' නෑ...
වැදගත් දේ තමයි මේ කතාව අහන යාලුව, චිත්‍රපටිය නරඹන්නො වන අපත් එක්ක එකට පුටුවල වාඩි කරල තමයි වැඩේ පටන් ගන්නෙ. අනික කතාව කියන්ඩ පටන්ගන්න විදිහ.

"ඔහොම නෙවෙයි ඔය කතාව කියන්ඩ ඕනෙ, මෙන්න මෙහෙමයි"

එතන ඉඳන් කතාවෙ හැම කොටසක්ම ගානට සෙට් වෙනවා. හින්දි ෆිල්ම් එකක දැකපු හොඳම තිරරචනයක් අප ඉස්සරහ දිගහැරෙනව. කලින් කිව්ව වගේ මල් ගොඩක් නියමෙට තිතට ඇමිනෙනවා.
එක ඉන්ටර්විව් එකකදි මේ ෆිල්ම් එක හදපු අබ්බාස් තයිරවාලා කියනව ඔහුට අවශ්‍යය වුනේ කතාවක් කියන්ඩ කියල. එයා ඒක නියමෙටම කරනවා.


ඒ විතරක් නෙවෙයි, එයා තිතට අමුණපු ඒ මල් මාලේ එක මලක්වත් අඩුමගානෙ කොළයක්වත් මැරෙන්ඩ දෙන්නෙ නැතුව නැවුම් විදිහට බලන් ඉන්න අපේ කර වටේට දානවා.

හැම සීන් එකක්ම ජීවයෙන් පිරිලා. පලපුරුද්දක් නැති අලුත් නලු නිලි සෙට් එකක් අරගෙන(ප්‍රවීන අයත් අතරින් පතර ඉන්නව )ඒ අය හුළඟක් වගේ කැමරාව ඉස්සරහ නිදහස් කරනවා. සමහරු වැඩේ අනනවා. සමහරු ගොඩ දාගන්නව. ඒත් ඔක්කොම කඩාගෙන මුලු ෆිල්ම් එකම අපේ ගැටවර හීනයට කතාකරනවා.



















ෆිල්ම් එකට ජීවය පිඹින තවත් මැජික් කරුවෙක් ඉන්නවා පැත්තකින්. ඒ තමයි ඒ. ආර් රහුමාන්. මෙතනදි මං කියන්නෙ සින්දු ගැන නෙවෙයි පසුබිම් සංගීතය ගැන. ෆිල්ම් එක පුරාම අපේ මූඩ් සෙට් කරන්නෙ රහුමාන්. ඒත් ෆිල්ම් ෆෙයාර් සම්මානය හම්බවෙන්නෙ මේකෙ සින්දු මූලික කරගත්ත සංගීත අධ්‍යක්ෂණයට මිසක් පසුබිම් සංගීතය වෙනුවෙන් නෙවෙයි. මොනව උනත් ලොකු විචාරකයො කියල කියන කට්ටිය බනිද්දිත් මේ වගේ ෆිල්ම් එකක වැඩ කරන්ඩ රහුමාන් බාරගත්ත එක එයා ගත්ත හොඳම තීරණයක් කියන එකනන් නොකිය බැහැ.




ඇත්තටම ජානේ තූ යා ජානේ නා කියන්නෙ හින්දි සිනමාවේ මහ දැවැන්ත නිර්මාණ කියල පිළිගන්න ඒවට සැහෙන්ඩ උඩින් තියන ෆිල්ම් එකක්. ලඟදි බැලුවා හැමෝම හොඳයි කියල පොළොවෙ පස් කන්ඩ හදන සින්දගී නා මිලෙගි දොබාරා. අයිසින් නන් ගොඩාක් තිබ්බා. ඒත් චිත්‍රපටිය අපෙන් ගොඩාක් දුරයි. ජානේ තූ යා ජානේ නා ඉන්න සුන්දර සරල තැනට යන්ඩ බැරුව දුක් විඳින ෆිල්ම් එකක්තමයි අන්තිමටම බලන්ඩ හම්බ වුනේ. කන්සෙප්ට් එක මාරයි. ඒත් ඒක කතාවකට ගොනු වෙලා ස්ක්‍රිප්ට් එකට එද්දි වටේට ගොඩක් දේවල් සෙට් වෙලා. ඒත් මැද හිස්. ඇල්කොහොල් නැති බියර් වගේ. මේක ගොඩක් හින්දි චිත්‍රපටි වල මං දැකපු දෙයක්.

ඉන්දියාවෙන් පොඩ්ඩක් ලංකාවටත් ආවොත් ඇයි මෙහෙ ඉන්න කට්ටියට ෆිල්ම් එකකින් කතාවක් කියන්ඩ බැරි? ලොකු ලොකු දේවල් කරන්ඩ හදනවට වඩා ජනතාවගේ සිනමාවක් හදන්ඩ ඕනෙ නම් ඒ සරල තැනට යන්ඩ වෙනව. මිනිස්සුන්ට චරිත හුස්ම ගන්නව දැනෙන චිත්‍රපටි හැදෙනකම් ලංකාවෙ සිනමාවට අනාගතයක් නෑ. සමහරු සල්ලි වැඩි වෙලාද මන්දා මාර සෙට් දාලා, නලු නිලි හැට හුට හමාරක් අරගෙන, මහා දැවැන්ත එව්ව (චිත්‍රපටි?) කරනවා. බල්ලො බත් කන්නෙ නෑ. ඒත් ජානේ තූ යා ජානේ නා බලද්දි මගේ බෙල්ලෙ එතුනු ඒ මල් වැලේ සුවඳ මට තවම දැනෙනව.




මේ කොච්චර කිව්වත් මං මේකට කැමති ඇයි කියල තවම හරියට කියාගන්ඩ බැරි උනා කියලයි හිතෙන්නෙ. ලංකාවෙ මගේ චිත්‍රපටි සඟයා මේක ගැන කිව්ව කතාව මේ වගේ.

"මචං, අපි හැමෝගෙම හීනයක් තියනවනෙ බන්. මේකෙ තියෙන්නෙ ඒ හීනේ"

ඇත්ත වෙන්ඩ ඇති. ඒත් මං තවම කල්පනා කරනවා...