Saturday, November 6, 2010

‘සුළඟ එනු පිණිස’ නැවත බැලීම

පෙර සටහන:
දවස් දෙක තුනකට කලින් චාර්මිගෙන් ඊමේල් එකක් ලැබුනා. පින්තූර වගයක් එක්ක තවත් ෆයිල් එකක් අමුනලා තිබ්බා ඒ එක්ක, සුදුසු නම් මේ බ්ලොග් එකේ පළකරන්න කියලා. මීට වඩා සුදුසු දේවල් කොහෙන්ද කියලා මට එක පාරටම හිතුනෙ. මේක ඇත්තටම ටික දවසකට කලින් අපි කතාකරපු දෙයක් සම්බන්ධ වැඩක්. ඉතින් මේක ඉතා ගෞරවයෙන් යුතුව පළකරනවා. ඔහු විසින් හොඳ සුළඟකට කවුලු පියන් හැර ඇති බවක් මට හැඟෙනවා. ඔබට බොහොම ස්තූතියි චාර්මි....!!!
-------------------------------------------------------------------------------------------------










පහුගියදාක අ‍පේ සිඟිති සිනමා කවය කාලාන්තරයකට පස්සෙ ආපහු සෙට් උනා. අපි මෙතෙක් කල් පාවිච්චි කරපු පරණ ගල්මෝලක සිරිය ගත් හිතාචි ප්‍රෙජෙක්ටර් කබල දිවංගත උනාට පස්සෙ වැඩේ නැවතිලා තමා තිබුණේ. සුජියා ගිහින් කොහෙන්ද මන්දා රුපියල් පන්සීයකට දහසක් කොන්දේසි සමඟ ප්‍රොජෙක්ටර් බට්ටෙක් හයර් කරන් ඇවිත් තිබුනා. දන්නවනේ.... ලොකු මස්සිනාලා ඉතාලි ඉඳං එවන හෙනට වටින රට බඩුනේ ඕවා. අනික ඉඳලා හිටලා ‘ගැහැණු ලමයි’ බලන්ඩ ඇරුණහම අල්මාරියෙන් එලියට ගන්නෙ අපි වගේ කරදරකාරයෝ ඉල්ලුවොත් තමා.ඊට පස්සෙ බලන්ඩ තැනක් නෑ. මොකද අපි සෙට් උනේ ‘සුළඟ එනු පිණීස’ බලන්ඩ. ඉතිං ඒකෙ තියෙන 'දෙයියොත් එක්ක අහවල් දේ කොරන' කතා ගෙවල්වල ඈයින්ට ඇහුනොත් ෆිල්ම් කෙරුවාව එතනින් අහවරයි නොවැ. අන්තිමට ජානක තමා ඒකට කර ගැහුවේ. "සහෝදරවරුණි, බිය නොවන්න - බලන හැටි මම පෙන්වමි" කියල තමා ඌ කිව්වෙ. පේන විදිහට ඌ ඉස්සෙල්ලාම ගෙදර අම්බානක බය කරලා වගේ. මෙහෙම සෙට් එකක් එන්නෙ.... මෙහෙම වැඩක්.... අරක මේක කියලා. මොකද වැඩේ අහවර වෙනකං ගෙදර කට්ටිය නෑ වගේ තමා. මං හිතන්නෙ කට්ටිය කුස්සියේ. යන්තං ෆිල්ම් එක ඉවර උනාම දොර යාන්තමට ඇරිලා කෙසෙල් ගෙඩිත් එක්ක තේ කෝප්ප ට්‍රේ එකක් විතරක් ඇතුලට ආවා.

රෑ 7.00 පටන්ගන්නවා කියපු හින්දා 8.10 වෙද්දි හැමෝම වගේ ආවා. ඊට පස්සෙ ෆිල්ම් එක දැම්මා. කොහොමත් ෆිල්ම් එකේ විනාඩි දහයක් විතර යනකං සුපුරුදු ටෙක්නිකල් ප්‍රශ්න ටික තමා. එකෙකුට සවුන්ඩ් මදි. එකෙක් බයයි කුස්සියට ඇහෙයි කියලා. තව එකෙකුට කලර් මදි. එකෙකුට කන්ට්‍රාස්ට් මදි. තව එකෙකුට පුටුව සෙට් නෑ......... ඔන්න යන්තං ෆිල්ම් එක සෙට් උනාම දෙතුන් දෙනෙක් පිටිපස්සෙන් ඩබ් කරනවා. ඔන්න ඕවට තමා මල පනින්නේ.......

හැබැයි ඩබින් වලත් හොඳ පැත්තක් තියෙනවා. මොකක් හරි සිදුවීමක්/රූප රාමුවක් තව කෙනෙක් දකින හැටි දැනගන්න පුළුවන්. ඊට පස්සෙ ඒගැන එන හොඳම කියවීමත් එක්ක ඉස්සරහට යන්න පුළුවන්.
සමස්තයක් විදිහට ෆිල්ම් එක හැමෝම වගේ හොල්මන් කලා කියලා තමා පෙනුනේ. මොකද නාමාවලියත් ඉවර වෙලා තමා හිරි ඇරගන්න නැගිට්ටේ.

ෆිල්ම් එක ඉවර උනාම ආපු ලොකුම ප්‍රශ්ණේ තමා ඒකෙ තියෙන ගැබිණි කාන්තාවක් සමග යම් පුද්ගලයෙක් ගස් දෙබලක් මත සංසර්ගයේ යෙදෙන සීන් එක. ඊ ළඟට (යම්) ගැබිණි කාන්තාවක් වස ශරීරගතකරගෙන මියගොස් සිටීම. මේ සිදුවීම් ෆිල්ම් එකේ කොතැනද ස්ථානගත කරන්නෙ කියන එක තමා ගැටළුව. මොකද මේ චරිත දෙක එන්නේ ඒ දර්ශනයට විතරයි. ෆිල්ම් එකේ පසුබිමත් එක්ක කොහෙත්ම නොගැලපෙන සහ මේකෙ තේමාව කියලා අපි හිතං ඉන්න එකට කොහෙත්ම සෙට් නොවෙන මේ සිදුවීම ගැන එක එක කතන්දර කට්ටිය කිව්වා. හැබැයි ඒ කාලෙ රියර් අද්මිරාල්ලා, පැරකුම් කිවියා,ජැක්සන් බබා කියපු ජාතියේ ගොන් කතා නම් එකෙක්වත් කිව්වෙ නෑ. ආපු අදහස් ඔක්කොම මතක නැති උනත් ඒක ගැන සාධාරණ පැහැදිළි කිරීමක් හැටියට සුජියාගේ අදහස කවුරුත් පිළිගත්තා.










සුජියාගේ තියරිය මේකයි.
'යුදබිමක (හෝ පශ්චාත් යුද බිමක) තර්කානුකූල කිසිවක් නැත.'

දැං ෆිල්ම් එකක් බලද්දි අපිට පේන්නේ රූප රාමු. එක් රූප රාමුවකින් හදන අඩුව පුරවන්න ඊළඟ රූප රාමුව එනවා. අපි මේ ආඛ්‍යානය කියවනවාට අමතරව මේ එක එක රූප රාමු නැතිනම් එක් එක් සිදුවීම් අතර තර්කානුකූල සම්බන්ධයක් ගොඩ නගනවා. ඒ අනුව තමා අපි ෆිල්ම් එක කියවන්නේ. ඉතිං විමුක්ති කරන්නෙ එකපාරට අර වගේ නසරාණි සීන් එකක් ඔබලා අපි හදාගෙන යන පිළිවෙල නැතිනම් අර තර්කානුකූල දම්වැල කඩලා දානවා. ඉතිං ෆිල්ම් එක ඉවර වෙනකලුත් අපි ට්‍රයි කරන්නෙ අර සිදුවීමට පුරුකක් හොයාගෙන කොහොම හරි මේක අමුණ ගන්න. (එහෙම බැරි උනාම තමා ඒ කාලෙ අරගොල්ලො බෙරිහන් දුන්නෙ විමුක්තියා විදේශ සම්මාන බලාගෙන අපේ අගනා වටිනාකම් ...........)

සුජිත් කිව්වෙ මේක අපේ ප්‍රශ්ණයක් කියලා. ඇත්තනේ. විමුක්තියා කිව්වෙ නෑනේ අපිට දම්වැල් හදාගන්න කියලා. අපි මේක කරන බව ඌ දන්නවා. ඉතිං ඒකට ඌ ගේමක් දුන්නා. අපිට මල පැන්නා.
ඇත්ත කතාව තමා යුද බිමක (නැතිනම් අද අපි වෙසෙන පශ්චාත් යුද බිමක) කිසිම සිදුවීමක තර්කානුකූලභාවයක් සනාථ කල නොහැකිවීම. උගේ උදාහරණ තමා මේවා.

1) යුද්ධයේ මිලිටරි පාර්ශවය සාර්ථකව ජයග්‍රහණය කල ජෙනරාල් සරත් ෆොන්සේකා වසරකුත් මාස කිහිපයක් තුල වැලිකඩ බන්ධනාගාරයේ එල්.ටී.ටී.ඊ සැකකරුවන් සමඟ එක හැලියේ බත් බුදීම තර්කානුකූලව පහදන්න.

2 )රටේ සියළු දෙනාගේ ජනාදරයට පාත්‍රවූ, දිනකට කැසිනෝ වෙනුවෙන් පමණක් ලක්ෂ ගණනක් වියදම් කල ධන කුවේරයෙක් වූ සක්විති රණසිංහ මාස කිහිපයක් තුල යකඩ කම්හලක කුලී වැඩ කරන අන්ත හිඟන්නෙකු ලෙස පොලිස් අත්අඩංගුවට පත්වීම තර්කානුකූලව පහදන්න.

3) යන්තම් වසර දෙකකට පෙර යුද හමුදාව සමූලඝාතනය උදෙසා අති නවීන අවි ආයුධ කැරළිකරුවන් වෙත සැපයූ කේ.පී. ට සැලියුට් කිරීමට හමුදාවේම සෙබළෙකුට සිදුවීම තර්කානුකූලව පහදන්න.

4 )දේශපාලනය තබා රංගනය පිළිබඳවවත් මොන මළ දානයක්වත් හරියකට නොදන්නා නිරූපිකාවක වන උපේක්ෂා ස්වර්ණමාලී ප්‍රවෘත්ති සාකච්ඡාවක් තබා 18 වන සංශෝධනය පිළිබඳ ඇගේ ස්ථාවරය පැහැදිළි කිරීම තර්කානුකූලව පහදන්න.

5 )විධායක ජනාධීපති ක්‍රමයට එකඟව කටයුතු කල රවි කරුණානායක 18 වන සංශෝධනයට විරුද්ධ වෙද්දී වාසුදේව එයට පක්ෂ වීම තර්කානුකූලව පහදන්න.
...................................................
(ඌ කියපු සේරම මතක නෑ. හැබැයි මට හිතෙන ඒවත් දාල ලියනවනං තව සීයක් උනත් ලේසියෙන්ම ලිව්වෑකි)
දැං ඉහත ඒවා සේරම පුශ්න කිරීමකින් තොරවම ස්වභාවික විදිහට බාරගන්න අපි රූප රාමුවක තර්කානුකූල භාවය ගැන මෙච්චර කරදර වෙන්නෙ ඇයි?
(මෙතන හරි වැදගත් දේවල් ටිකක් තියෙනවා. ඒ ටික පස්සෙ ලියන්න හිතාගෙන ඉන්නවා)
කොටින්ම සුජිත්ගේ අදහස සුළඟ එනු පිණිස පසුබිමේ ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම ඒ සිදුවීම් වලට අපේ කතිකාව තුල තර්කානුකූල සම්බන්ධයන් ගොඩනගන්න යන එක වික‍ාරයක් කියන එක. චිත්‍රපටය තුල මේ කාන්තාව ගැන අනුර (මහේන්ද්‍ර පෙරේරා) කියන්නෙ මෙච්චරනේ.
“මේ පළාතෙ කෙනෙක් නෙමේ වගේ......!”
ඉතින් එතන ජීවත් වෙන අනුරට නැති ප්‍රශ්ණ අපිට එන එක තමා අපි හැප්පෙන මැණික් ගල. (ඕනෙනම් විසිකරලා දාන්නත් පුළුවන්)










ඊ ළඟට මතක තියෙන අදහස උනේ අන්තිම හරියේදී පාරේ සිට නිවස පෙන්වන රූප රාමුව. එතනදි මෙච්චර වෙලා මේ නිවස තුල ඉඳං මුඩුබිම දැකපු අපි, පළමු වරට මුඩුබිමේ සිට නිවස දිහා බලනවා. මේක මේ බිමේ පිහිටි තවත් එක ගෙයක් විතරයි කියන හැඟීම අපිට එන්නෙ එතනදි. සමස්ත ඛේදවාචකයේ පරිමාව අපට දැනෙන්න ගන්නවා.

අධිබල විදුලි රැහැන් කිහිපයක් තුළින් නිවසේ දුරස්ථ රූපයක් පෙන්වන අන්තිම දර්ශනයත් කවදාවත් අමතක වෙන්නක් නොවෙයි. මේ මුඩුබිමට ඉහළින් කොහේදෝ සිට කොහාටද ඇදෙන මේ උස් රැහැන, මේ මුඩුබිම පුරාම පැතිරී ඇති අමනුස්ස පාළුවට/අක්‍රීය මිනිස් සන්තානයන්ට/නම් නොමැති මිනිස් ප්‍රාණීන්ගේ අතුරුදන්වීම් වලට කොච්චර දුරට වගකියනවද කියන එක හිතන්න ඉතිරි කරලා ෆිල්ම් එක ඉවර වෙනවා.










ඉතින් තවත් කතා ගොඩක් ගියා. රෙකෝඩ් කරගත්තෙ නැති පාඩුව දැනෙනවා. ඒ කතා බහ හැමදාම වෙනවා වගේ වෙන යාංහෑලි ගොඩකට පරිවර්තනය වෙන්ඩ ගත්තාම එකා දෙන්නා මාරුවීම ඇරඹුවා. ආයේ ෆිල්ම් එකක් බලන අදහසින්. විශේෂයෙන් එදා නොතිබුන පොඩි අංශෙකුත් සෙට් කරගෙනම.

-Charmi

12 comments:

  1. macho sulaga enu pinisa (complete) online dl karagganna site 1k nedda?(clean copy 1k).plz dannawanam metana kiyanawada?netnam mata mail karanna.roshaneranga at gmail .com...
    aththatama hoda lipiyak wagema hoda sanwadayak...passe meka gena adahas dakwannam.mokada mama tama film 1 gena ahala witarayi tiyenne/balala ne.

    ReplyDelete
  2. මෙන්න මේ ටොරන්ට් ලින්ක් එක බලන්න මචන්. දැන් ටික දවසකට කලින් මම බෑවා. ටිකක් හෙමින් තමයි එන්නෙ. චැක් කොරල බලන්න....

    http://www.monova.org/details/2172932/VIMUKTHI%20JAYASUNDARA%20-%20SULANGA%20ENU%20PINISA%20AKA%20THE%20FORSAKEN%20LAND%20(2005).html

    ReplyDelete
  3. ‍චමිල කලින් සටහන අනුව Fonders පිල්ම් එක බලන්න ට්‍රයි කලා හරි ගියෙ නෑ. ටොරන්ට් ඩවුන්ලෝඩ් විතරයි හම්බවුණේ. තියෙන පහසුකම් අනුව ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි.

    කොහොම වුණත් චාර්මි සුළඟ එනු පිණිස බලපු එක හොඳයි. ඇත්තටම ඒක තහනම් කරන්න හේතු මොනවද කියල මටනම් තවම හිතාගන්න බෑ.

    ReplyDelete
  4. කාටවත් තේරෙනවද අර හමුදා ට්‍රක් දෙකක් මූණට මූණ හම්බවෙන සීන් එක.

    ReplyDelete
  5. @ පිණීබිඳු,
    මේක ගැන විවිධ කියවීම් තියෙන්න පුළුවන්. මම හරිද දන්නෙ නෑ. මට නම් මුලින්ම දැනුනේ මේ සටන් විරාමය කියන එක. ඇත්තටම සටන් විරාමයේදී උනේ පාර්ශ්ව දෙකම තමන්ගෙ පාර වෙනස් නොකර විසඳුමකට යන්න උත්සාහ කරපු එක. ඒකෙන් අන්තිමට උනේ දෙපාර්ශ්වය දෙපැත්තට දෝලනය වෙමින් ඉඳලා ඒ අවස්ථාව නැති කර ගැනීම.
    ඇත්තටම යුද්ධයක් කියන්නෙ තනි පාරක්. තියෙන්නෙ ඔප්ෂන් දෙකයි. එක්කෝ ඉදිරියට. නැතිනම් පසුපසට.
    (අර මැද ඉඳං අතපය විසිකෙරුව හාදයා තමා සොල්හයිම්. :D )

    ReplyDelete
  6. චාර්මි කිව්ව දේ ටක්කෙටම හරි වගේ. එතන තියන සියලුම දේවල් වලට තේරුමක් හම්බවෙනවා ඒකෙන්.
    ෆිල්ම් එකක රූප වලට අර්ථ දෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි මට නම්. ඒක වචනෙකින් දෙකකින් කියන එක කොහොමත් අමාරුයි. මම කියන්නන් මේක මට දැනුන විදිහ.
    මේක තියෙන්නෙ පශ්චාත් යුධ(එහෙම නැත්තන් තාවකාලික යුධ විරාමයක් සහිතා)කළාපයක්. වෙඩි හඬවල් නැහැ. ඒත් තුවක්කු තියනවා. යුද්ධ ටැන්කි එහෙමෙහෙ යනවා, තුවක්කු එල්ල කරගෙන. ඒත් සතුරෙක්ව අපි දකින්නෙ නැහැ. ඒවා එල්ලවෙන්නෙ මිනිස්සුන්ගෙ ගෙවල් දිහාවට.

    ඉතින් මේ ගෙවල් ඉස්සරහ තියන පාරේ එකිනෙකාට මුහුන දාලා හම්බවෙනව ට්‍රක් දෙකක්. සාමන්‍ය යුධ පිටියක නම් මුහුනට මුහුන හම්බවෙන්නෙ විරුද්ධ පාර්ශව දෙකනෙ. ඒත් මේ ට්‍රක් දෙකම එකම පැත්තෙ. ඒත් මේ දෙකට මාරු වෙන්න "පාර" පළල් නෑ. සාමාන්‍ය රථ දෙකකට වගේ සරලව යන්න බැහැ.හිර වෙලා. එකම පැත්තට නෙවේ. මුහුණට මුහුණ. හරියට හතුරො වගේ. ඉතින් හිරවෙලා ඉස්සරහට පස්සට යන්න වෙනවා.
    උදාහරණයක් මතක්වෙනවා. දැන් යුද්දෙ කරන කාලේ කට්ටියට හිටියෙ එක හතුරයි. යුද්දෙ ඉවර උනා විතරයි, තමන්ගෙ පැත්තෙම හිටපු එකා සතුරෙක් විදිහට මූනට හම්බවෙනවා. ඊටපස්සෙ දෙන්න අතර ගේමක්....
    (චාර්මි කිව්ව කතාව තමයි ඇත්තටම විමුක්ති අදහස් කරන්න ඇත්තෙ ඒකෙන් මැද අතපය විසිකරන මනුස්සයාටත් නියම තේරුමක් හම්බවෙනවා :) )

    ReplyDelete
  7. චමිල ගේ අදහසට තමා මම කැමති. පශ්චාත් යුද තත්වයකදී මුණට මුණ හමුවෙන්නෙ තමන්ගෙම උන්.
    මහින්දට ජේවීපී හම්බ වෙනවා.
    මේධානන්දට චම්පික හම්බ වෙනවා.
    සරත් ෆොන්සේකාට ශවේන්ද්‍ර හම්බ වෙනවා.
    රනිල්ට සජිත් හම්බ වෙනවා.
    අම්මලට අන්තරේ පුතාලව හම්බ වෙනවා.
    පොලිසියට වැලිකඩ හිරකාරයෝ හම්බ වෙනවා.
    සෝමරත්නට ජැක්සන් හම්බ වෙනවා.
    ............./////

    ReplyDelete
  8. අයියලා කට්ටියගේ අදහස් ටික හරියට වටිනවා. තේරුම් නොගිය තැන් කීපයක් ගැන අදහසක් ගන්න පුලුවන් වුණා.

    ඒත් මට ඒක බලපු දවසේ ඉදන් තියෙන ගැටළුවක් තමා ෆිල්ම් එකෙන් කියන්න හදන්නේ මොකක්ද කියන එක. ඒක ගැන අයියලාගේ අදහස මොකක්ද ?

    ReplyDelete
  9. හඳයාගේ ''මේ මගේ සඳයි'' බාගන්න තැනක් දන්නවද​?

    ReplyDelete
  10. @ Ano,
    මට නම් හොයාගන්න බෑ.
    චමිල මොනවාහරි කියනකම් මමත් බලං ඉන්නෙ.
    චමිලටත් බැරිම නම් මොනවා හරි බලමු.

    ReplyDelete
  11. @charmi, Anonymous:
    මමත් පහුගිය ටිකේ සෑහෙන්ඩ ඕක හෙව්වා. හම්බ වුනේ නෑ. මමත් ඒක ආපහු බලන්න සෑහෙන්න ආසාවෙන් ඉන්නෙ.

    ReplyDelete
  12. මාත් බලලා තියනවා!හොඳ ෆිල්ම් එකක්!

    ReplyDelete