Tuesday, March 15, 2011

පර්ෆෙක්ට් සිකුරාදාව...

මං දැනට ඉන්නෙ ජපානයේ අයිසු වකමත්සු කියන නගරයේ. මේක ෆුකුශිමා ප්‍රාන්තයේ රට මැදටවෙන්න පිහිටල තියන ලස්සන පැත්තක්. ෆුකුශිමා කිව්වහම මේ දවස්වල හැමෝම දන්නවා. ඔව්... ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරය තියෙන්නෙ අපට කිලෝමීටර සීයක් ඈතින් මුහුද අයිනට වෙන්න.
මාර්තු 11 සිකුරාදා හවස 2.46ට, මෙතෙක් කාලෙකට ජපානයේ ඇතිවෙච්ච දරුණුම භූමිකම්පාව මෙහෙටත් දැනුනා. ඊට පස්සෙ ඇතිවෙච්ච සුනාමිය මෙහෙට බලපෑමක් කලේ නැතිවුනාට ඒකෙ කම්පනයනම් ටීවී එකෙන් අපට දැනුන. ඊටත් පස්සෙ න්‍යෂ්ටික බලාගාරයේ කාන්දුවීම. මේ ඔක්කොම අත්දැකීම් සතියකට වඩා කාලයක් තිස්සෙ විඳිමින් තවම මෙහෙට වෙලා ඉන්නව.
මේ දවස්ටිකට සිද්ධවුන දේවල් කට්ටියත් එක්ක බෙදාගන්න හිතාගෙන ලියන්න පටන්ගත්තෙ. හිතුවට වඩා කල්ගියා. අනිත් එක තියන තත්වයත් එක්ක දිගටම ලියන්නත් අමාරුයි. ඒ හින්දා පුලු පුලුවන් විදිහට ලියලා දාන්නන්.

ඒක සිද්ධවෙච්ච සිකුරාදා දවසෙන්ම පටන්ගමු.


------------------------------------------------------------------------------------------------
















එදා සිකුරාදාව වෙනදාට වඩා වෙනස්ම එකක් වුනා. කාලෙකට පස්සෙ පාර්ට් ටයිම් නැති නිසා පොඩ්ඩක් දවල් වෙනතුරු නිදාගන්න අවස්ථාවක් ලැබුන එක තමයි පළවෙනිම දේ. කොහොම උනත් කාළගුණය අනුව නම් තවත් එක් කම්මැළි සීතල දවසක් . ඇඳෙන් බිමට අඩිය තියනකොට එකොලහහමාරත් පහුවෙලා. කලින් දවසෙ පාන්දර වෙනකන් ඇහැරලා හිටිය නිසා දවල් වෙනකන් නින්දක් ඕනෙ වෙලයි තිබුනෙ. අනික නිදාගන්න කලින් උණුවතුරෙන් නාගත්ත නිසා සැපට නින්දක්දාන්න කොහොමත් පුලුවන් වුනා. ඒ වගේම උදේම නාගන්න කරදර වෙන්න දේකුත් නැහැ. ඒ නිසා මූන පොඩ්ඩක් තෙමාගෙන ඇඳුමක් දාගෙන කෙලින්ම කැම්පස් එකට බයිසිකලේ පැද්දා. ලැබ් එකට ඇවිත් වාඩිවුනා විතරයි, මගේ ගුරුතුමා ඔසානො සෙන්සේ දොර ඇරගෙන සුපුරුදු කළබලයෙන් ආවා.
"ආ.....ගුඩ් මොර්නින්.......අද අර වැඩේට යන්න පුලුවන් වේවි නේද?"
"ඔව් සෙන්සේ මට ප්‍රශ්නයක් නැහැ. අද පාට් ටයිම් වැඩ නැහැ..."
"හවස 2ට මාව හම්බවෙන්න එනවා එක්කෙනෙක්. 3ට කලින් එයා ආපහු යයි. තුනට විතර අපි මෙහෙන් යමුද?"
"ඕකේ සෙන්සේ...මම ලැබ් එකේ ඉන්නන් ඒ වෙලාවට..."
"හරි...තැන්ක්යූ...ලොකු උදව්වක්..."
ඔහු එහෙම්මම පිටවී ගියා. 'අර වැඩේ' කිව්වෙ ඔහුගෙ මෙහෙ නවාතැනේ ඉඳන් තෝකියෝ වල තියන ගෙදරට ලොකු මේසයක් සමඟ තවත් බඩු කීපයක් ගෙනයාමට උදව් කිරීම. ඇත්තටම මට කරන්න තිබුනෙ දෙවන තට්ටුවේ ඉඳල පහළට ඒවා අරන් ඇවිත් කාරෙකට පටවන එක. එච්චර ලොකු වැඩක් නෙවේ. තව සති තුනකින් විශ්‍රාම යන්ඩ ඉන්න එතුමා මේ දවස්වල ඒකට ලෑස්තිවෙනවා. ඊයේ හවස්වරුවම මං ඔහුගේ ඔෆීසියේ පොත් රාක්ක හිස් කිරීමේ මහාමෙහෙයුමට සෙට්වෙලා හිටියෙ.

හරි....!!! එතකොට ඒ වැඩේ හවස තුනට. වෙලාව තියනවා ඕනෙ තරම්, ඊට කලින් කරගන්න ඕනෙ වැඩ ටිකට.
ඔන්න ඒ වෙලාවෙ තමයි මතක් වුනේ දමිත් ඊයෙ කරපු ඉල්ලීම . පොර දැනට පදිංචිවෙලා ඉන්න කාමරය ආපහු බාරදෙන්නෙ අද. පෙරේදා හවස අවසාන බඩුමුට්ටු ටිකත් අස්කරලා,පොඩි ක්ලීන් පාරකුත් දාලා ඒ වැඩ ටික ඉවරයක් කලා. අද හවස තුනට ඒක අයිති මනුස්සයා ඇවිදින් ඔක්කොම ගණුදෙනු බේරා යතුර බාරගන්නව කියල කීවා.
"මචං උඹට පුළුවන්නන් පොඩ්ඩක් වරෙන් ඒ වෙලාවට..." ඊයෙ රෑ කෝල් කරපු වෙලාවෙ ඔහු කීවේ එහෙම.
දැන් සෙන්සේගෙ වැඩේ නිසා දමිත් එක්ක යන්න වෙන්නෙ නෑ. ඒත් දමිත්ගෙ වැඩේට මම අනිවාර්ය නැහැ. මම නැතත් වැඩේ සිද්ධවෙනව. ඒත් සෙන්සෙට තනියම මේස අදින්න බැහැ. ඒ හින්ද ඒකට යන්නම වෙනවා. ඒ ගැන කියන්න දමිත්ට කෝල් කරන් ඈක පසුවට කල්තැබුවා. පොර මේ වෙලාවේ පාර්ට් ටයිම් වැඩ.
ඊට පස්සෙ ජීමේල් එකට ගිහින් බැලුවෙ සාජි සෙන්සෙ ඉන්නවද කියල. එයාගේ ප්‍රොජෙක්ට් එකේ වෙබ්සයිට් එකේ වැඩ වගයක් මට පවරල තියනවා. ඒ ගැන කතාකරන්න අද හම්බවෙන්න කියලා ඊමේල් එකක් දාලා තිබ්බ. වෙලාවක් නම් කියල තිබ්බෙ නෑ...
මෙන්න එයා ඉන්නව කොළපාටට ..!!!
චැට් එක ඇරල ටයිප්කලා 'දැන් එන්නද' කියලා.
"ප්‍රශ්නයක් නෑ...ඒත් එද්දි පුලුවන්නන් වැකුම් ක්ලීනර් එක අරන් එන්න" තප්පර කීපයකින් උත්තරය ආවා.

එයා කිව්වත් නැතත් මම ඒක අරන් යන්න හිටියෙ. . මං කලින් දවසේ ලොක්ක වගේ පොරොන්දුවුනා අපේ ලැබ් එකේ වැඩිපුර තියන වැකූම්ක්ලීනර් එකක් එයාට දෙන්නන් කියලා. ලැබ් එකේ දැන් වැඩිය කවුරුත් නැති හින්දා ඕක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
ඉතින් සාජී සෙන්සෙගෙ ඔෆිස් එකට ගියේ අලුත්ම වැකූම් ක්ලීනරයත් අරගෙන. එයා සුපුරුදු විදිහටම කාළගුණ දත්ත එකතු කරන අඩු වියදම් උපකරණ හදමිනුයි හිටියෙ. කාමරය පුරාම බිම ප්ලාස්ටික් බට කපද්දි වැටුනු කුඩු වලිනුයි, තවත් දුහුවිලිවලිනුයි පිරිල තිබ්බ. මුලු කාමරයම එක හඬින් වැකුම් ක්ලීනරයක් ඉල්ලාසිටියා.
"හරි හරි....කෑගන්ඩ එපා......මෙන්න මම බඩු ගෙනාවා...." මම කාමරයේ බඩු මුට්ටු වලට හිතින් උත්තර දුන්න.

"මේක මම ඉක්මනටම ආපහු දෙන්න ඕනේද?"
"හදිස්සියක් නෑ. පස්සෙ දෙන්න. හදිසියේ ඕනෙ වුනොත් මම ඉල්ලගෙන යන්න එන්නම්."
එයින් ඔහු සෑහීමකට පත්වුනා. මේ ඔක්කොම වැඩ ඉවරකරලා වැකුම් කරන්න හිතාගෙන ඉන්නව වෙන්න ඕනේ.
ඊට පස්සෙ අපගේ ප්‍රොජෙක්ටුව ගැන කතාබහ කරලා සඳුදාට එහි ප්‍රගතියක් පෙන්වන බවටත් පොරොන්දුවෙලා මං ආපහු එන්න ලෑස්තුවුනා. නිකමට ඒ ගැජ්ට් ගැන පොඩ්ඩක් ඇහුවා. එහිදී සාජි සෙන්සේ බොහොම උනන්දුවෙන් 'කාළගුණ දත්ත රැස්කිරීම' හා 'අනාවැකි පැවසීම' ගැන කරුණු ගණනාවක් කිව්ව. ලංකාව වගේ ඝර්මකළාපීය රටවල කාළගුණ අනාවැකි කියන එක පණයන වැඩක් බව මං ප්‍රථම වතාවට දැනගත්තේ ඒ වෙලාවෙ.
"මෙහෙ උනත් සමර් එකට වැඩේ අමාරුයි. ඒත් හිම වැටෙන මේ කාලෙදිනම් ඒක සාපේක්ෂව ලේසියි"
ඒ ගැන වැඩිපුර අහන්ඩත්, ඔහුගේ ගැජට් ගැන ගැන දැනගන්ඩත් ආසාව වැඩි උනාට බඩ ඒකට හරස්වේගන එන බව දැනුණා. අද දවසටම කිසිම දෙයක් බඩට දාගන්නට තවම හම්බවුනේ නෑ. ඉතින් මම එතනින් සමුඅරන් කැන්ටිම පැත්තට ඇදුනා.
කොළ පාට ට්‍රේ එකත් අතේ තියාගෙන "කන්නෙ මොනවාද" සිතමින් ඉන්නකොට තමයි දැක්කේ බුක් ශොප් එකේ දොරෙන් මතුවෙලා කැන්ටිම පැත්තට ඇදෙන මිනකොගේ හිනාව. ඇය මං හිටිය තැනට කෙලින්ම ආවා.
"ලන්ච් ගන්නද හදන්නෙ?"
"නෑ...බ්‍රන්ච් ගන්න හදන්නෙ..." මම සුපුරුදු කතාව කිව්වා. මොකද මම දැන් ගන්න යන්නෙ බ්‍රෙක්ෆස්ට් + ලන්ච්
"එහෙනන් ඔයා අරන් එන්න. මම වාඩි වෙලා ඉන්නම්"
කාලෙකට පස්සෙ මිනා එක්ක කෑම කන්ට හම්බවෙන එක සතුටක්. මාස කීපයක ඉඳන් දවක් කෑමට හම්බවෙන්න අපි පුරුදු වෙලා හිටියා. එයාගෙ කෑම පැය හරියට මේ දවස්වල කාළගුණේ වගේ. එක දවසක් හොඳට ඉර පායල තිබ්බොත් ඊලඟ දවසෙ හිම. එක දවසක් 12 ට කෑවොත් ඊලඟ දවසෙ 3ට. ඒ හින්ද මම උදේට ශොප් එකට ගිය වෙලාවට එයා මට කියනව 'අද මගේ කෑම පැය ........ වෙලාවට' වගේ කතාවක්. ඉතින් ඒ වෙලාවට මමත් කෑමට සෙට් වෙනව; එයත් එක්ක එක එක වල්පල් කතා කර කර ඉන්නව. ඒත් පහුගිය මාසේ ඒකට ඉඩක් හම්බවුනේ නැත්තෙ මගේ පාර්ට් ටයිම් වැඩ වැටිල තිබ්බ හින්දා. ඒත් අද අහම්බෙන් අපි අයේත් හම්බවෙලා...
මං මගේ පුරුදු මෙනූ එක වෙච්ච කරාගේ , මිසො සුප් සමග බත් අරගෙන මිනා ලඟින් වාඩිවුනා. ඇගේ කෑම පෙට්ටිය කොයිතරම් පුංචිද කියලා මං විහිලුවට කිව්වහම හුරතල් හිනාවක් දාල එයා කියනව"මේක මට හොඳටම ඇති...ම්ම්ම්.... ඇති වෙයි කියල හිතනවා...." ඒ විදිහට පටන්ගත්තෙ හරිම සුන්දර කතාබහක්.
අපි කතාකලේ ජපන්-ඉන්ගිරිසි මිශ්‍ර බාසාවක්. එයා තවම ඉන්ග්‍රීසි ඉගෙන ගන්නවා(මමත් එහෙම තමයි ). මගේ ජපන් දැනුමත් හරිම අඩු ලෙවල් එකක තියෙන්නෙ. ඒත් අපි අතරෙ බාසා ගැටීමක්නම් වැඩිය සිද්ධවුනේ නැහැ. මට වදින විදිහට ජපන් වලිනුත් එයාට වදින විදිහට මගේ කැඩුනු ඉන්ග්‍රීසියෙනුත් කතාකරන්ඩ අපට පුලුවන් වුනා.
ඔය අතරෙ තමයි මගේ ඇහැගැටුනෙ කැන්ටිම පුරා එක එක ආයතනවලින් ආපු අය වාඩි වෙලා ඉන්නවා. අලුත් බයිසිකල් වගේකුත් පේලියට තියල තියනව දොර ගාව.
මොකද්ද යකෝ මේ සෙල්ලම?
මම මිනාගෙන් ඒ ගැන ඇහුව.
"ලබන මාසේ කැම්පස් එකට අලුතෙන් එන ළමයින්ට තියන ප්‍රෝග්‍රෑම් එකක්... එයාලට නවතින තැන්, බයිසිකල්,වගේ දේවල් මෙතනින් සෙට් කරගන්න පුලුවන්... " ඇය විස්තරේ දුන්නා.
"ආ... එතකොට මේ ඉන්නෙ අලුතෙන් එන අය වෙන්ට ඇති."
මං එහෙම ඇහුවෙ මට ලැජ්ජාවෙන් හිනාවක් දාගෙන එතනින් ගිය ලස්සන කෙලි පැටික්කියක්ව පෙන්නලා.
"වෙන්ඩ ඇති" මිනාත් හිනාවක් දානවා.
"මේක හින්දා මට හෙටත් දවසම වැඩ. හෙට වොලිබෝල් ගහන්න වෙන්නෙ නෑ අනේ..." ඇය කිව්වෙ අප්සට් එකේ..
"සෙනසුරාදා දවසම වැඩ? වොලිබෝල් කීයටද?"
"1 ඉඳන් 5 වෙනකන්...සමහරවිට මට වැඩ ඉවරවෙලා යන්න පුලුවන් වෙයි. ඒත් ෂුවර් නැහැ "
"අපරාදේ...."
"බෝලේ මන් ගාව තියෙන්නෙ. ඒක අක්‍රම්ට දෙන්න ඕනේ. " ඒක නන් එයා කිව්වෙ බැරෑරුම් විදිහට.
"එයා අද එනවද කෑම කන්ඩ?"
"දන්නෙ නෑ අනේ.... ඒක දෙන්ඩ බැරි උනොත් නම් හරිම පව් කට්ටිය..."
මං එයාගෙ මුහුණ දිහා බැලුවා. එහි ඉල්ලීමක සේයාවක් දකින්ඩ නැහැ. ඒත් මං ඒක අරන් ගිහින් ඌට දුන්නොත් හොඳයි වගේ.
"මම ඒක ගිහින් දෙන්නම්"
"ඇත්තටම?? ඔයාට එයාව හම්බවෙනවද?"
"නෑ..ඒත් යන ගමන් මට ඒක දීගන යන්න පුලුවන්...අවුලක් නෑ"
"තැන්ක්යූ අනේ...."
1.45 ට පමණ එයා ආපහු වැඩට පිටත්වුනා. මමත් ඒ එක්කම ගිහින් බෝලෙත් අරගෙන එයාගෙන් සමුගත්තා. මගේ ලැබ් එක තියන පැත්තට විරුද්ධ පැත්තෙ තමයි අක්‍රම් කියන ටියුනීෂියානුවා ඉන්න තිප්පොල තියෙන්නෙ. කොරිඩෝවෙන් ඒ පැත්තට හැරෙනවාත් එක්කම පොර අනිත් කොණෙන් මතු වුනා. මිනිහ කන්ඩ යන්නෙ දැන්. මං දුන්න බෝලයත් අරගෙන ඔහු ආපහුගියේ අත මිටි කරල මගේ අතේ වද්දලා. ඒක තමයි පොර ආචාර කරන විදිහ.
අයිසු වකමත්සු 'අන්තර්ජාතික' වොලිබෝල් ටීම් එකේ 'ජාතික' සංවිධායක වෙලා ඉන්නෙ අක්‍රම්. හැම සති අන්තෙම කට්ටිය සෙට් වෙලා යුනිවර්සිටියේ හරි, ලඟපාත් වෙන ජිම් එකකක හරි, වොලිබෝල් සෙල්ලම් කරනව. ඒක 'අන්තර්ජාතික' වූනේ රටවල් ගණනාවක කට්ටිය මේකට ආපු නිසා මිසක් ෆ්‍රොෆෙශනල් වෙච්ච නිසා එහෙම නෙවේ. මේක මේ විනෝදයට කරපු වැඩක් විතරයි.
"මේ දවස් වල වැඩත් අඩු එකේ වොලිබෝල් ගහන්න ගියොත් මොකද..." හදිසියේ මගේ අලුවට ආවේ ඒ වගේ අදහසක්. මාස ගානකින් ඒ පැත්තෙ ගියෙ නැත්තෙ වැඩ වැඩි නිසාම නෙවේ, කම්මලිකම හින්දා. ඒත් හෙට ආපහු ගිහින් බලන්න ඕනෙ කියල මං ඒ වෙලාවෙ තීරනේ කලා.
ඔන්න ඔය වෙලාවෙ තමයි මතක්වුනේ දමිත්ගෙ කෝල් එක.
"හෙලෝ මචන්... උඹ වැඩ ඉවරද?"
"ඔව් මචන්, මම ලැබ් එකට ආව. 2.45ට විතර මෙහෙන් පිටත්වෙනවා. ගිහින් වැඩ ටික ඉවර කරල දාන්නන්"
"අවුලක් නැද්ද?"
"නෑ..නෑ...උඹ එන්ඩ ඕනෙ නැහැ. සෙන්සෙගෙ වැඩේට පලයන්...අවුලක් නෑ..."
හරි...ඒකත් ශේප්. අද හවස යන්ඩ ඕනෙ පොරව හම්බවෙන්න. අපි ප්ලෑන් කරගෙන ඉන්නෙ හෙට රෑට සෙට් වෙන්ඩ. කාලෙකට පස්සෙ නිදහසේ සෙට් වීමක් !!!
ආපසු මගේ ලැබ් එකට එනකොට වෙලාව 2ට විතර ඇති. දැන් කම්පියුටරේ ගාවින් වාඩිවුනොත් නම් අයෙත් නැගිටිනවා බොරු. ඒ හින්ද කෙලින්ම තුවායත්, රෙදි බෑග් එකත්, ෂැම්පූ-සබන් මල්ලත් අරගෙන පහළට බැස්සෙ ශවර් එකක් දාගන්න. නාන කාමරය හිස්... මම ඇතුළට වැදිල හිතේ හැටියට උණුවතුර නාගත්තා. එළියට ඇවිත් අළුත් ඇඳුමකට බැස්සට පස්සෙ තියන සනීපෙ...!!! අළුත් මේස් කුට්ටමකුත් දාගෙන 'නැවුම්' වෙලා එළියට බැස්සා.
අද පර්ෆෙක්ට් දවසක් කියලා තුන්වෙනි තට්ටුවට එලිවේටර් එකේ එද්දි මට හිතුනා. පාර්ට් ටයිම් නෑ; දවල් වෙනකම් සැපට නිදාගන්ඩ ලැබුන; සාජී සෙන්සෙ හම්බවෙලා වැඩටික කතාකරගත්තා; මිනකො එක්ක දවල්ට කාලා චැට් එකක් දැම්ම. තව තියෙන්නෙ ඔසානො සෙන්සෙගෙ වැඩේ විතරයි. ඒක ඉවර කලහම මේ සතියෙ වැඩ වලින් ගොඩක් ඉවරයි. ඊට පස්සෙ හෙට දවසෙ නිදහසේ සාජි සෙන්සෙගෙ වැඩේ කරල, වොලිබෝල් වලට ගිහින්, හවස සෙට් වීම.... ඔන්න එතකොටම තමයි මතක්වුනේ දත් මැද්දෙ නෑ කියල !!! ලැබ් එකට එද්දි වෙලාව 2.35 ට විතර ඇති. 3 වෙනඩ තව වෙලාව තියනව. අවුලක් නෑ. බඩු ටික එහෙ මෙහෙ තියල බ්‍රශ් එකත් අරන් වොශ් රූම් එකට ගියේ දත් මදිනගමන්. වෙලාව අරගෙන වැඩේ කරල, කටත් හෝදලා බ්‍රශ් එක කලිසමේ සාක්කුවට දාගත්තා. දැන්නම් ඔන්න පර්ෆෙක්ට්.... !!!

3 comments:

  1. ඉතින් ඊට පස්සෙද පර්ෆෙක්ට් එක දෙදරලා ගියේ. අනේ මන්ද අපි මේවා කියෙව්වාට ඔයා කොහොම අත්දැකීමක් විඳින්න ඇත්ද. පරිස්සමින්.

    ReplyDelete
  2. ඔව්...ඊට පස්සෙ තමයි හෙල්ලෙන්න පටන්ගත්තෙ. ඒකත් ලියල දැම්ම.
    ස්තූතියි...!!!

    ReplyDelete
  3. ආයෙත් කියවන්ට හිතුනා............. ඒකයි ආවෙ

    ReplyDelete