Wednesday, September 28, 2011

සර්ෆ් සංගීතයේ නැළවෙන්න...














කාලෙකට පස්සේ හම්බවෙච්ච පොඩි නිවාඩුවේ නිදහස විඳිනගමන් වයින් පොඩ්ඩක් බීලා ටිකක් රිලැක්ස් වෙන්න හිතාගෙන ආවා මෙතනට. වයින් පොඩ්ඩ බෝතලයක් බවටම පත්වුනා...
වයින් බෝතලේකටම තනියම වග කියලා මේක ලියන නිසා කියවන ඇත්තෝ කමා කරත්වා....

වයින් බීලා ඉද්දි අහන්ඩ හොඳම සංගීතය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ "අහපන් ජෑස්" කියලා. මට මතකයි එක වතාවක් මම ප්ලේන් එකේදී වයින් බීලා ජෑස් අහපු හැටි. ජනේලෙන් පෙනෙන වලාකුලු දිහා බලාගෙන , වයින් මතෙත් එක්ක, ජෑස් අහනකොට, කියලා වැඩක් නෑ...
ඒත් අද මං වෙනසකටත් එක්ක අහන්නෙ සර්ෆ් මියුසික්(Surf Music). පාවෙන ගතිය ඒකෙත් තියනවා.
සර්ෆ් කියන්නෙ ලංකාවෙදි නම් වැඩිය ඇහෙන්නෙ නැති සංගීතයක්. 70 දශකයේ සමහර චිත්‍රපටි වල ඒ වගේ සංගීත කෑලි අහල තියනව වගේ මතකයි. ඒත් ඒ මොන චිත්‍රපටියෙද කියල කියන්ඩ මේ වෙලාවෙ මතකෙට එන්නෙ නෑ. සර්ෆ් සංගීත රටාවට ළඟින් යන සින්දුවකට මේ වෙලාවෙ මට මතක් වෙන්නේ සනත් නන්දසිරි එක්ක මල්කාන්ති නන්දසිරි කියන "සීත රෑ වසන්තේ..".

මම සර්ෆ් සංගීතයට ආසා කරන්න පටන් ගත්තෙ පල්ප් ෆික්ෂන්(Pulp Fiction) සිනමා පටය හින්දා. ඒක පටන් ගන්නෙ Dick Dale ගේ මිසර්ලූ(Misirlou) කියන සංගීතයෙන්. ඊට පස්සේ මැදදි වින්සන්ට් වේගා(John Travolta) හෙරොයින් අරන් කාර් එක එලවගෙන යද්දි ප්ලේ වෙන්නෙ බුල්වින්ක්ල් 2(Bullwinkle Part II) කියන සෙන්චූරියන්ස්ලගෙ(The Centurions) සංගීත ඛන්ඩයක්. චිත්‍රපටිය ඉවරවෙන්නෙ ලව්ලි වන්ස්(The Lively Ones) ගේ සර්ෆ් රයිඩර්(Surf Rider) කියන එකෙන්. මීට අමතරව තව රොක් ඇන්ඩ් රෝල් සංගීතයත් මේ චිත්‍රපටයේ දකින්ඩ(ඒ කියන්නෙ අහන්ඩ ) පුලුවන්.
මම අහල තියන විදිහට මේ චිත්‍රපටය කරද්දි ටැරන්ටීනෝට ඕනේ උනාලු Ennio Morricone ව යොදාගෙන මේකේ සංගීතය කරන්න. මොරිකෝන් කියන්නෙ 60 දශකයේ බිහිවුන ස්පැගති වෙස්ටර්න්(Spaghetti Western ) චිත්‍රපටි වල සංගීතය කරපු මහා සංගීතවේදියා. මෙයා ගුඩ් බෑඩ් ඇන්ඩ් අග්ලි (The good, the bad, and the ugly), ෆොර් එ ෆියු ඩොලර්ස් මෝ(For a few dollars more) වගේ චිත්‍රපටි වලට කරපු සංගීතය මතක ඇති. මේ සංගීත ඛන්ඩ ලංකාවේත් හරිම ජනප්‍රියයි. ඉතින් ටැරන්ටීනෝටත් ඕනේ වෙලා තියන්නෙ මෙන්න මේ සංගීතයලු. හැබැයි ඒ කාලේ මොරිකොන්ව අල්ල ගන්න ලේසි වෙලා නැහැ. මොකද ඒ තරමටම වැඩ. ඉතින් ඒ වෙනුවට ටැරන්ටීනෝ කලේ තමන්ගෙ චිත්‍රපටියට සර්ෆ් සංගීතය යොදාගන්න එක. ඒක නියමෙටම වැඩ කරලා තියනවා.

ඇත්තටම මොකද්ද මේ සර්ෆ් සංගීතය?

ජනප්‍රිය බටහිර සංගිතයේ තවත් එක් ෂානරයක්. මේක මුලින්ම පටන්ගන්නෙ 60 දශකයේ. 20 වෙනි සියවසේ මුල් කාලේ ඉඳන් ආරම්භවෙලා 50-60 දශක වෙද්දි විශාල වශයෙන් ප්‍රචලිත වෙන සර්ෆ් කල්චර්(Surf Culture) එක ඇසුරෙන් තමයි මෙම සංගීත රටාව බිහිවෙන්නෙ. නිජබිම වෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඔරෙන්ජ් කවුන්ටිය.












සර්ෆ් කල්තරය කියන්නෙ නිකන්ම නිකන් සර්ෆින් විතරක් නෙවෙයි. ලොකු මුහුදු රැළි හොයාගෙන යාමේ උමතුව එක්ක බැඳුනු වෙනම ජීවන රටාවක්. ඔවුන්ගේ ඒ වික්‍රමාන්විත සර්ෆ් සුවිසැරිය ශ්‍රවන මාධ්‍යට ගෙන ඒම සිද්ධවෙන්නෙ සර්ෆ් සංගීතය හරහා. මුල් කාලේ මේකට සම්බන්ධවෙන ගොඩදෙනෙක් සර්ෆ් කෙළියේ අත්දැකීම ඇතිඅය. ඔවුන්ගේ රැළිමත පාවෙන ඒ අත්දැකීමේ සංගීතමය ප්‍රකාශනය තමයි සර්ෆ් සංගීතය කියන්නෙ.

50 දශකයේ ප්‍රසිද්ධවෙලා තිබ්බ රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ ආභාශය මේකට නොඅඩුව ලැබෙනව. ඒත් ඒක අනිත් සංගීත රටාවන්ගෙන් වෙනස්වෙලා ඊටම ආවේණික නාදයක් හදාගන්නෙ කොහොමද කියල පොඩ්ඩක් බලමු.
සර්ෆ් සංගීතය තවත් අතුරු ශානර කීපයකට බෙදුනත් පොදුවේ ගත්විට ලක්ෂණ කීපයක් ගැන කතාකරන්ඩ පුලුවන්. මේකෙ මූලිකම දේ තමයි විදුලි ගිතාරුවේ හඬ. ඒක නැත්නම් සර්ෆ් සංගීතයක් නෑ. ඒකෙත් විශේෂ දේ තමයි ගිටාර් ඇම්ප්ලිෆයරයේ රිවර්බ්(reverb - Reverberation) කියන තාක්ෂණය පාවිච්චි කිරීම. ඒක තේරෙන භාෂාවෙන් කියනවනම් දෝංකාර ශබ්ධයක් මතුකිරීම. සර්ෆ් සංගීත ඛණ්ඩ කීපයක් ඇහුවොත් මේ දෝංකාර ශබ්දය පැහැදිලිව දැනෙනවා. ඒ කාලේ බිහිවෙච්ච ස්ප්‍රින්ග් රිවර්බ්(spring reverb) කියන පහසු, අඩු වියදම්, උපකරණය නිසා මේ වැඩේ ගොඩක් පහසුවුනා. මේ තාක්ෂණය තමයි එයාලා මුහුදු රැළිවල සද්දෙ නිර්මාණය කරන්ඩ පාවිච්චිකරන්නෙ. ඊට අමතරව ස්වර නැවීමේ(ස්වර කැරකවිමේ) තාක්ෂණය (vibrato arm) නිතරම පාවිච්චි කිරීමත් තව විශේෂ ලක්ෂණයක්. ඒ වගේම සමහර සර්ෆ් සංගීතකරුවන් ට්‍රෙමොලෝ පිකින්(tremolo picking) පාවිච්චිකරනවා. ඒක ගිතාරුව වේගයෙන් වාදනය කිරීමේ ක්‍රමයක්. ඩබල් පිකින්(Double picking) කියලත් කියනව. ඒකෙන් සර්ෆින් වල තියන උද්වේගකර බව මතුකරන්ඩ පුලුවන්. ඩික් ඩේල්(Dick Dale) කියන්නෙ ඒක උපරිමේට පාවිච්චි කරපු එක්කෙනෙක්. ඉහත කියපු ලක්ෂණවලට අමතරව නාදරටාවල මෙක්සිකානු සහ මැද පෙරදිග ආභාශය තියෙනව.
සර්ෆ් සංගීතයේදි ගිතාරුවට අමතරව සැක්සපෝනය පාවිච්චිකරන අවස්ථා දකින්ඩ පුලුවන්. ඕගන් වගේ ඒවත් ඉඳල හිටල යොදාගන්නවා. කොහොම උනත් ඩ්‍රම්ස්නම් අනිවාර්යයි. සර්ෆ් රිද්මය මතුකරන්ට බොහෝවිට යොදාගන්නෙ මධ්‍ය හා දෘත ලය.

මුලින්ම මුහුදු රැළි වල රටා මතුකිරීම මේකෙ අරමුණ වුනත් පස්සෙ ජීවිතයේ රටා සර්ෆ් සංගීතය ඔස්සේ මතුකිරීමට ඔවුන්ට හැකිවෙනවා. මුහුදේ රැළි වල රටාව ඇතුලෙ ජීවිතයේ රටාවන් හැංඟිල තියනව. ඒක හින්ඳ මේක එච්චර අරුමයකුත් නෙවෙයි.

60 දශකය තුළ සර්ෆ් සංගීතය මවපු මුල්පෙලේ ගුරුන් තමයි ඩික් ඩේල්(Dick Dale), වෙන්චර්ස්(The Ventures), බීච් බෝයිස්(Beach Boys), සර්ෆාරිස්(Surfaris), ඇට්ලැන්ටික්ස්(The Atlantics) වගේ අය. මේ අතර බොහෝ දෙනෙක් ගායනයෙන් තොර සංගීත වාදනා කරන අය.














ඉක්මනින්ම මේ සංගීතය ලෝකෙ පුරා ජනප්‍රිය වෙනවා. මීට ටික කාලෙකට පස්සෙ මතුවෙන සයිකඩෙලික් රොක්(Psychedelic rock) සහ පසුකාලිනව ජනප්‍රියවෙන ඕල්ටනේටිව් රොක්(Alternative rock) සංගීතය සර්ෆ් සංගීත රටා වලින් ලොකු ආභාශයක් ගන්නවා. හැබැයි පස්සෙ මේවා සර්ෆ් සංගීතය යටකරගෙන ජනප්‍රියවෙනවා. ජනප්‍රියබව හීනවුනත් ඔවුන් දිගටම සර්ෆ් නාදරටා මැවීමේ යෙදිල ඉන්නවා, අදටත්.

වර්ථමානයේ පවා සර්ෆ් සංගීතලෝලීන් රාශියක් ඉන්නවා ලෝකෙ පුරා. විශාල වශයෙන් නොවුනත් ලෝකෙ නොයෙක් රටවලින් අලුත් සර්ෆ් සංගීතකරුවන් බිහිවෙනවා. ඔවුන් නොයෙක් අලුත් අත්හදාබැලීම් කරනවා. මෑත කාලයේදී ක්‍රොයේෂියාවෙන් මතුවුන ද බම්බි මොලෙස්ටර්ස් (The Bambi Molesters) කියන්නෙ ඒ වගේ සංගීත කණ්ඩායමක්. ඔවුන් සර්ෆ් රොක් සංගීතයට අලුත් මානයන් එක් කරනවා.

මා ජීවත්වන ජපානය තුළත් සර්ෆ් ජනප්‍රියයි. ඒත් තරුණ පරපුර අතරනම් නෙවෙයි. මැදි වයසේ සහ මහලුවයසේ අය අතර.
මේ විදිහට සර්ෆ් සංගීතය ගැන මා අතින් ලියවෙන්ඩ විශේෂ හේතුවක් තියනවා. නොකී එඩ්වර්ඩ්ස් (Nokie Edwards)කියන්නෙ මගේ ප්‍රියතම සංගීතකණ්ඩායමේ (ද වෙන්චර්ස් - The Ventures) ගිතාරු වාදකයෙක්. දැනට මේ කණ්ඩායම විසිරිල ගිහින් තිබුනත් ඔහු තනිව වාදනය කිරීමේ යෙදිල ඉන්නවා. මනුස්සයට බොහොම වයසයි. 76ක් විතර මං හිතන්නෙ. දවසක් අහම්බෙන් පෝස්ටරයක් දකින්ඩ හම්බවුනා. ඒකෙන් කිව්වෙ නොකී එඩ්වර්ඩ්ස් ඔබේ නගරයේ කියලා !! කලින්ම ටිකට් එකකුත් අරන් තනිපන්ගලමේම යන්ඩ ලෑස්තිකරගත්තා. ඇත්තටම කියනවනන් ඒකට එකට යන්ඩ කවුරුත් සෙට්වුනේ නැහැ. කලින්ම ගියා බියර් කෑන්නෙකකුත් බෑග් එකේ දාගෙන. හෝල් එක පිරිල සෙනඟ. හැබැයි 95%ක් විතරම වයසක අය. ඒ හැමෝම හිටියෙ හරිම උද්යෝගෙන්. කලින් කිව්ව වගේ නොකී දැන් හොඳටම වයසයි. ඒත් ගිතාරුව අතට ගත්තහම ඒ වයස කොහේ ගියාද මන්දා. සර්ෆ් සංගීතය තවමත් තරුණයි. ප්‍රේක්ශකාගාරයත් තරුණවෙලා. සමහරු කෑගහනවා. විසිල් ගහනවා. මම බියර් එක හිස්කරන ගමන් සර්ෆ් සංගීතයේ පාවුනා. ඒක ඒ තරම්ම සුන්දර අත්දැකීමක්. පස්සෙ හම්බවෙච්ච විවේකයේදි අපට නොකී එඩ්වර්ඩ්ස්ගෙ අත්සන ගන්ඩ පුලුවන් වුනා. ඔහුට අතට අත දෙනගමන් මං කිව්වෙ

`මං කැමතිම සංගීතය වාදනය කරාට ස්තූතියි සර්` කියල.














ප/ලි

තව දුරටත් සර්ෆ් සංගීතය අහන්න හිතෙනවනන් පහත සබැඳි ඔස්සේ ගිහින් බලන්න. මගේ ප්‍රියතම සංගීත ඛන්ඩ කීපයක්.








17 comments:

  1. Ennio Morricone - "malena" balanda,nodanna dewal godak dana gaththa.thanks.

    ReplyDelete
  2. ස්තූතියි කොමෙන්ටුවට. Malena එකේ සංගීතයත් මොරිකෝන් ගෙ තමයි. මං කැමතිම ෆිල්ම් එකක්.

    ReplyDelete
  3. සෑහෙන කාලෙකින් වටින පෝස්ට් එකකුත් අරන් ඇවිත් තියෙන්නෙ

    ReplyDelete
  4. පිණිබිඳු... : ස්තූතියි ! මේක කාලෙක ඉඳන් ලියන්ඩ හිතාගෙන හිටිය එකක්..

    ReplyDelete
  5. පිස්සු පීකුදු.... මේක දැක්කෙ අද බං...
    මරු.....
    ආයෙ බීපන් මචං...

    ReplyDelete
  6. පරණ සිංහල චිත්‍රපටි වලත් මේ හා සමාන මියුසික් තිබ්බ නේද කියලා හිතුනා... පැරණි කීවට ගොඩාක් පැරණි නෙමෙයි. 60 අග භාගයේ 70 විතර...වවුල් තිප්පොල ලියන චමිල ද , වෙන කෙනෙක් ද මේ ?

    ReplyDelete
  7. ෂහ්.. කියල වැඩක් නෑ... මිනිස්සු වෙනස් වෙලා අළුත් පැත්තකට යන්න පුළුවන් සටහනක්. නොවරදවාම ඔය දීල තියෙන ඒව අහනවා.

    එනෝ මොරිකෝන් මහත්තය සංගීතය දීපු කව්බෝයි ච්ත්‍රපටි කීපයක්ම බලල තියෙනවනෙ. ඒවයිනුත් ඔයා කියපුවට අමතරව අර චාල්ස් බ්‍රොන්සන් අංකල් ඉන්න චිත්‍රපටියෙ කන් පසා කරගෙන යන මවුත් ඕගන් පාර අමතක වෙන්නෙ නෑ...

    http://www.imdb.com/name/nm0001553/

    ඕකට ගියාම පේනව මොරිකෝන් මහත්තය කොයි තරම් කාර්ය බහුලද කියල!

    ReplyDelete
  8. ඉඳලා හිටලා අහපු මියුසික් ටිකක් ආපහු අහන්න ගත්තා අද උදේ මේ ලිපිය කියවලා.

    ( හරේ, පොරට බොහෝම සන්තෝසයි මම දන්න කියන කෙනෙක් එයාගේ ෆෑන් කෙනෙක් වීම ගැන. )

    ReplyDelete
  9. හරේ: ඔව්, ඒ හාර්මොනිකා එක මරු මචන්. ස්තූතියි මතක් කරාට. ආපහු ඇහුව මේ දැන්..
    සොඳුරු සිත: ඔව්, 60,70 කාලේ ඔය වගේ මියුසික් වල බලපෑම අපේ රටටත් දැනුනා. දැනුත් කවුරුහරි ඒ වගේ මියුසික් කරනවනන් කියල හිතෙනව. (ඒ චමිලම තමයි මේ :) ) ස්තූතියි අක්කේ....!
    මුචා : ස්තූතියි මචන් !
    චාර්මි : සති අන්තයෙ කොහොමත් පොඩ්ඩක් දාගෙන තමයි ඉන්නෙ මචන් :) තව බාගෙට ලියපු එව්ව ගොඩක් තියනව. ඒවත් පුලුවන් විදිහට සම්පූර්ණකරල දාන්නන්. මම කැමතිම හින්දි ෆිල්ම් එකක් ගැනත් පොඩි සටහනක් තියනව. ජානේ තූ යා ජානේ නා.... :)
    Il mondo di una povera pazza: අහන්ඩත් සංතෝසයි අප්පා මේවා අහන තව අය ඉන්නව කියල. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් සටහනක් දැම්මට...!

    ReplyDelete
  10. බ්ලොග් වල නොලියවෙන අන්දමේ පෝස්ට් එකක්.
    මැක්සා.

    මචන් "ජානේ තූ යා ජානේ නා" ගැන ලියපන්. මගෙත් ෆෙවරිට් එකක්. උබ ලියන දේ කියවන්න ආසවෙන් ඉන්නේ. ඉක්මනට ලියපන්.

    ReplyDelete
  11. තැන්ක්යූ මචන් !
    බාගෙට ලියල තියෙන්නෙ. ඒත් තවම සම්පූර්ණ කරන්ඩ මූඩ් එකක් ආවෙ නෑ. තව පාරක් බලන්ඩ ඕනෙ ෆිල්ම් එක. මේකට කැමති තව යාලුවෙක් හම්බවුනා. කැම්පස් එකේ ඉන්න කාලෙ මාත් එකට ෆිල්ම් බලපු සඟයා. දැනට මේකට කැමති අය මට හම්බවෙලා තියෙන්නෙ තුන්දෙනයි, උඹත් එක්ක.

    ReplyDelete
  12. “ජා‍නේ තු නා ජා‍නේ නා ‘ ඇත්තටම ද ඔයාල ‍මේ චිත්‍රපටියට කැමැති.පුදුමයි.ඒත් ඒක ඇත්ත කතාවක් තරමට ලස්සනයි.සත්‍ය ප්‍රබන්ධයට වඩා ලස්සනයි‍නේ...

    “ ජා‍නේ තු නා ජා‍නේ නා “ ගැනත් ලියනව ද? නැත්තම් ‍කෝඩ් භාෂාවක් ද කියල තාමත් මම ‍මේ කල්පනා කරනවා...

    ReplyDelete
  13. වත් අක්කේ : ලඟදිම දාන්නන්. එතකොටම බලන්ඩකො ;)

    ReplyDelete
  14. උඹට හොඳ මියුසික් සෙන්ස් එකක් සහ ටේස්ට් එකක් තියෙනවා. මට මතකයි මම මුලින්ම ගිටාර් ඉගෙන ගන්න කාලේ මට ගහන්න හම්බුවුනා ස‍ර්ෆ් පාර්ට් එකක්. Walk Don't Run... එදා ඉඳන් තමයි මම සර්ෆ් මියුසික්වලට ආස වුනේ. (හැබැයි එදා දැනගෙන හිටියේ නෑ ඒ සර්ෆ් මියුසික් කියලා)
    කමෙන්ට් එක දාන්න පරක්කු වුනේ මේ ලින්ක් එකත් ශෙයාර් කරන්න ඕන වුනු නිසා.
    http://pathumpunchihewa.blogspot.com/2011/11/art-of-surfing-music-of-surfing-surf.html
    ස්තුතියි මචන්!

    ReplyDelete
  15. @Pathum Punchihewa

    සර්ෆ් කල්චර් එක ගැන ලියපු එකට ස්තූතියි මචන්. ඒ වගේ දේකට පොඩි හරි ගිණි පුපුරක් දෙන්ඩ පුලුවන් වීම ගැන සතුටුයි. මාත් ගිටාර් එකෙන් සර්ෆ් කෑලි අල්ලන්ඩ ට්‍රයි කරල තියනවා. ඒත් මගේ ගිටාර් ගැහීම තවම අතදරු වයසෙ හින්දා මියෝ කන සද්දෙට වැඩියමක් නෑ.

    ReplyDelete
  16. The guitar part intro to Stanley Peiris & Fortunes' rendition of "Durakathanayakin" (https://www.youtube.com/watch?v=bzAmoo1lHms) and the lead guitar in Stanley Peiris & Fortunes' rendition of Udarata Kandukara sound reverbed somewhat like in surf rock.

    ReplyDelete