Sunday, December 30, 2012

මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි


මූනු පොතේ දේශපාලන පිටුපුරා හලාල් ගැන ලොකු සංවාද (හලාල් වලි ) වලින් පිරිලා. ඒතන ඒ ගැන අදහසක් දාන්න හිතුවත් දිගටම සංවාද කරගෙන යන්න වෙලාවක් නැති නිසා මටත් හිතුන ඒ ගැන මෙතන පොඩ්ඩක් ලියල දාන්න.

ඉස්ලාම් කියන්නෙ මං කැමති ආගමක් නෙවෙයි. කුරාණය ලියවුනේ අද තියන සමාජයට සම්පූර්ණයෙන්ම වෙනස්, වැඩවසම්, නොදියුණු සමාජයක. එදා තිබ්බ ප්‍රශ්න ගැන සලකලා, ඒ කාලේ මිණුම් දඬු වලට අනුව, වඩා උසස්, ශීලාචාර, සමාජයක් හදන්න කරපු උත්සහයක් තමයි ඒක. ඒත් ඊට අවුරුදු 1500කට පස්සෙ ඒ තියන වචන ඒ විදිහටම අනුගමනය කරනව කියන එක සමාජයක් විදිහට ආපස්සට යෑමක්. විද්‍යා දැනුමෙන්, අලුත් දාර්ශණික මත වලින්, එදා තිබ්බ වගේ දහස්ගුණයකින් ඉස්සරහට ගියපු සමාජයක අප ජීවත් වෙන්නෙ.

බයිබලය ගැනත් මගේ අදහස ඒකම තමයි. ලොකේ මොනවගේද කියන එකවත් හරියට නොදැනගෙන හිටපු අය(නමුත් ඒ කාලයට සාපේක්ෂ උගතුන් සහ බුද්ධිමතුන්) විසින් ලියපු දේවල් මේවා. ඒත් බයිබලය ඒ විදිහටම පිළිගන්න අය සාපේක්ෂව අඩුයි. බයිබලයේ කියන විදිහටම ජීවත්වෙන්න හදන අය ඉන්නව නන් ඒ ඉතාම ස්වල්පයක්. ක්‍රිස්තියානි ජීවන විලාසිතාවන් කාලයෙන් කාලයට වෙනස් වීම් වලට ලක් වෙනව.

නමුත් ඉස්ලාමය කියන්නෙ දැඩි නීති රීති සමාජයක් විදිහට බලය පාවිච්චිකරල  ඒ විදිහටම රැකගෙන යන්න හදන ආගමක්. මං ඒකට කැමති නැහැ.

හැබැයි කවුරුහරි, ඉස්ලාම් ආගම හෝ වෙන ඕනෑම ආගමක්, දෙවියෙක්,යක්ශයෙක් අදහාගෙන හිටියාට මට ප්‍රශ්නයක් නෑ  ඒත් ඒ ආගම වෙනුවෙන් අනිත් අයගේ නිදහසට බාධා වෙන දෙයක් කරනවා නම්, මිනිසකමට නොසරිලන මිලේච්ඡ දේවල් කරනවා නම් ඒකට මං විරුද්ධයි. ඉස්ලාම් සමාජ තුල මෙවැනි දේවල් බහුලයි.(අනිත් ආගම් සුද්ධ කරනව එහෙම නෙවෙයි )

මං කෑම සඳහා ඇති ඕනෙ මස් වර්ගයක් කනවා. ඒත් ඒ මස් සඳහා සතුන් මරන්නෙ කොහොමද කියන එක ගැනත් පොඩ්ඩක් හිතන්ඩ ඕනෙ කියන එක ගැන හැඟීමක් ආවෙ Food, Inc. කියන චිත්‍රපටිය බැලුවට පස්සෙ. මෙච්චර දියුණු යුගයක මධ්‍යකාලින යුගයේ වගේ අමානුෂික විදිහට සතුන් මරනවා කියන්නෙ එච්චර ශිෂ්ට ක්‍රමයක් නෙවෙයි. (මේක මස් වලට විතරක් නෙවෙයි, අනිත් නිෂ්පාදනවලටත් අදාලයි. යුරෝපයේ චොකලට් බොහොමයක් හැදෙන්නෙ අප්‍රිකාවෙ වහල්ලු වගේ වැඩගන්න ළමයින්ගෙ ශ්‍රමයෙන්). ඉතින් හලාල් ගැන අහල තියන සහ දැකල තියන දේ අනුව ඒක කෲර වදයකින් මරණයට ලක් කිරීමක්. ඒක ඒ කාලෙ හැටියට හොඳ ඇති. ඒත් දැන් කාලේ ඊට වඩා හොඳ ක්‍රම තියනවා. ශිෂ්ටාචාරය කියන්නෙ ඒකනෙ. ඉතින් ඔය හලාල් මස් කියන එක ගැන මට තියෙන්නෙ ඒ තරම් පැහැදීමක් නෙවෙයි.

ලංකාවෙ කැම්පස් ඉන්න කාලේ අපේ බැච් එකේ අපේ හොඳම ගජයෙක් හිටියා මුස්ලිම්. පොර හිටියෙ මගේ ගම් පලාතෙමයි. සෙනසුරාදා උදේ ලෙක්චර් එක ඉවරවෙලා අපි පිටකොටුවට ගිහින් බස් එකේ ගෙදර ගියේ එකට. බස් එකට නගින්න කලින් එන මාර බඩගින්නට මොනවහරි බඩට දාගන්න වුනේ ලඟපාත කඩේකින්. ඒ වෙලාවට මං කලේ ඔක්කොම පොරට තීරණය කරන්න දීපු එක. වටපිට හොඳට බලල, මුස්ලිම් කඩයක් හොයාගෙන, "අරකෙන් කමුද මචන්" කියල අහද්දි මං කිසිම පැකිලීමක් නැතුව පොරත් එක්ක ඒකට යනවා;කනවා. මොකද මට තහනමක් නෑ, ඒත් හලාල් නැත්තන් ඌට හිතට හරි නෑ. ඒ 2002 විතර.

ජපානෙ කැම්පස් එකේ මගේ හොඳම ගජයා අක්‍රම්. ටියුනීසියානුවෙක්. දවසකට කීපවාරයක් යාඤා කරන ඉස්ලාම් බැතිමතෙක්. අපි නිතරම එකට කන්න යනවා. අක්‍රම් සාමාන්‍යයෙන් මස් කන්නෙ නෑ. ජපානෙ මාලු කෑම ඕනෙ තරම් තියන නිසා ප්‍රශ්නයක් නෑ. ඒත් අක්‍රම් එක්ක කෑම කන්න යද්දි අපි(මා සහ අනිත් ජපන් අය ) හැමවෙලාවෙම හොයල බලනව පොරට කන්න පුලුවන් දේවල් තියන කඩයක්ද කියල(ජපානෙ හලාල් සහතික තියනව කිව්වට අපි ඉන්න පලාතෙ හලාල් කියන්නෙ මොකද්ද කියලවත් කතාවක් නෑ. ඌරුමස් නැත්තෙ ඉස්ලාම් කෙනෙක් කරන ඉන්දියානු කඩේ විතරයි. හරක්මස් නැත්තෙ තවත් ඉන්දියානු ආපන ශාලාවක විතරයි ). පොර කවදාවත් අපිට බල කරන්නෙ නෑ ඌරුමස් නැති කඩයකට යමන් කියල. මට එහාපැත්තෙ ඉඳගෙන අක්‍රම් ඉස්සො දාපු කෑමක් කද්දි මං ඌරුමස් පෙති දාපු 'චාසුමෙන්' කනවා. සමහර දවස් වලට වැරදිලා පොරගෙ බත් එකේ ඌරුමස් කෑලි තිබුනොත් හෙමීට ඒවා හැන්දෙන් මගේ පිගානට දාලා කෑම එක කනවා. මෙහෙ හලාල් කඩයක් තිබ්බනන් අක්‍රම් එක්ක කන්ඩ යද්දි අපි ඒකට යන්ඩ ඉඩ තිබ්බ.

යාලුවො වෙනුවෙන් හලාල් කන්ඩ සිද්දවෙන එක මට එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අපි වෙනුවෙන් ඌරුමස් මිශ්‍රවෙච්ච බත් කන එක අක්‍රම්ටත් ප්‍රශ්නයක් නෙවෙයි. මං කැමති අන්න එහෙම තැනකට.

හැබැයි පොර කවදහරි කිව්වොත් "මං ඌරුමස් කන්නෙ නෑ, ඒ හින්ද උඹලත් කන්ඩ එපා" කියල අන්න එදාට අපි ඒ ගැන කතාකරනවා.

අද ලංකාවෙ ඒක වෙමින් පවතිනව. පාර්ලිමේන්තුවේ උනේ ඒක. සබරගමුව කැම්පස් එකේ එක පීඨයක මුස්ලිම් කථිකාචාර්ය වරු දෙන්නෙක් ඉන්නව කියල ඒ කැන්ටිමේ ඌරුමස් දෙන එක නතරකරලා(ඒ දෙන්න විසින් කරපු ඉල්ලීමකට අනුව ). බේකන් වගේ දේවල් ගොඩක් තැන්වල විකුනන එක නතර කරල. ඔන්න ඔය වැඩේ වෙනවනන් ඒකට මං  විරුද්ධයි. කඩ පිටින් හලාල් කරන්න කියල මුස්ලීම් සමාජයෙන් ඉල්ලීමක් තියනවනන් ඒකටත් මං විරුද්ධයි.

හැබැයි මං ඒකට ගේම ඉල්ලන්න ඕනේ මගේ පිඟානට ඌරුමස් කෑලි ටික දාලා තමන්ගෙ පාඩුවෙ බත් එක කන අක්‍රම්ගෙන් නෙවෙයි. කඩේ මුදලාලිගෙන්. මුදලාලිට කවුරුහරි තර්ජනය කරනවනන් අන්න උන්ගෙන්.



ප.ලි.
මේක හලාල් ගැන ලිව්ව නිසා සඳහන් නොකලට පෝය දවසට බාර් වැසීම, මස් කඩ වැසීමටත් මං ඒ වගේම විරුද්ධයි.

අනික 2050 වෙද්දි ලංකාව මුස්ලීම් රටක් වෙලා තියෙයි, මගෙ ළමයි මුස්ලිම් වෙලා ඉඳී කියල බයක් එහෙම මට නෑ.



9 comments:

  1. 2012 ටම එකයි වගේ.... අවුලක් නෑ...
    දැන් අන්ත දෙකේ මිසක් මැදක ඉන්න එවුන් හොයාගන්න අමාරුයි. මාත් කියන්නෙ තමන් කැමති දේවල්, කැමති විදිහට කන්න බොන්න නිදහස තියෙන්න ඕනේ... අනිකා අකමැති නම් නොකා හිටපුවාවේ.. ඒත් එක මට කන්න එපා කියන්න ඌට බෑ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි , කමෝන්

      Delete

  2. යාලුවො වෙනුවෙන් හලාල් කන්ඩ සිද්දවෙන එක මට එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. අපි වෙනුවෙන් ඌරුමස් මිශ්‍රවෙච්ච බත් කන එක අක්‍රම්ටත් ප්‍රශ්නයක් නෙවෙයි. මං කැමති අන්න එහෙම තැනකට.

    හැබැයි පොර කවදහරි කිව්වොත් "මං ඌරුමස් කන්නෙ නෑ, ඒ හින්ද උඹලත් කන්ඩ එපා" කියල අන්න එදාට අපි ඒ ගැන කතාකරනවා.

    ඔය දේ තමයි චමිල මේ මුළු ලෝකෙටම ඕනේ ..
    මෙතන හැමෝටම ඕනේ මගේ එක අරූට
    කවන්න..බලෙන් කවන්න..

    ReplyDelete
  3. 1000% කතාවට එකඟයි. මම හිතන්නෙත් ඔය විදිහටම තමා. ජයෙන් ජය
    itnishantha@gmail.com

    ReplyDelete
  4. ඇත්ත මචන් මුස්‌ලිම් අයට හලාල් කෑම කන්න අයිතිය තියෙනවා වගේම අපිට සාමානය කෑම වර්ග කන්නත් අයිතිය මේ රටේ තියෙන්න ඕනේ.

    ReplyDelete
  5. අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?

    http://yahamaga.com/?p=4486

    ReplyDelete
  6. //Sunday, December 30, 2012//
    උඹ මාස තුනක් ඉස්සරහින්.
    මොකද මේ අවුරුද්දෙ මොකුත් ලියල නැත්තෙ?

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දටත් එක පෝස්ට් එකක් වත් දාන්ඩ ඕනේ. බාගෙට බාගෙට ලියපුවා තියනවා.
      මේ මගේ සඳයි ගැන තවම දාන්ඩ බැරි උනානෙ...! :)

      Delete