Sunday, April 10, 2011

පොළොව හෙලවෙන එකේ පොඩි ආතල් එකකුත් තියනවනෙ..


----------------------------------------------------------------------------------------------

ඒ විදිහට මං අත්විඳපු ලොකුම හෙලවිල්ල නතරවුනා.
"මේ විදිහට හෙලවෙන එකේ පොඩි ආතල් එකකුත් තියනවනෙ..."
මට එහෙම හිතුනා.
තව ටික වෙලාවක් මෙහෙමම ඉන්න ඕනේ. ඒ විදිහට තවත් තත්පර කීපයක් ගෙවිලා ගියා...
ප්‍රශ්නයක් නෑ. එහෙම හිතලා මම අනිත් පැත්තට ඇවිදින්න හිතාගෙන අඩියක් ඉස්සුවා.
මෙන්න ආපහු හෙල්ලෙනව !!!
මම අඩිය ආපහු තිබ්බෙත් අමාරුවෙන්. හිටගෙන ඉන්නත් අමාරුයි. ලොකු සද්දෙකුත් එක්ක හෙල්ලෙනව.
මට මොනවද වෙන්නෙ කියල හිතාගන්න බැරි උනා.
එහා පැත්තෙන් ගෑනු කට්ටිය කෑගහන සද්දයක් ඇහෙනවා.මට හදිස්සියේම ඒ පැත්ත බැලුනා. කට්ටියම බිල්ඩින් එකෙන් ඈතට දුවනවා. සමහරු බිම ඉඳගෙන.
ඔන්න එතකොට තමයි මතක්වුනේ බිල්ඩින් එක ගැන.
බිල්ඩින් එක පාමුලම පොඩි තීරුවක් ඇරෙන්න මිදුල පුරාම අඩි බාගයක විතර හිම තට්ටුවක්. මං හිටියෙ ඒ හිම නැති පොඩි තීරු කෑල්ලට බැහැල. බිල්ඩිම කඩාගෙන වැටුනොත් නන් මාව හොයාගන්න ඩෝසර් දාන්න වෙනව. හදිස්සියේම ආව ඒ හැඟිම කකුල් දෙකට පණ දුන්න. මං එක පාරටම හිම ගොඩට අඩිය තියලා බිල්ඩින් එකෙන් ඈතට යන්න පටන් ගත්ත. හිම උඩින් අඩිය තියල යන්න හැදුවට කකුල් දෙකම හිමේ එරුනා. ඒත් අමාරුවෙන් පුලුවන් තරම් බිල්ඩිමෙන් ඈත හිම ගොඩ මැදට ගියා. මං ලඟ බනිස් කකා හිටිය ජප්පත් හිම ගොඩේ එරි එරි මාත් එක්කම මැදට ආව. එහා පැත්තෙ හිටිය පොර නන් හිටිය තැනම හිටියා.
හෙල්ලෙන එක නන් තවම එහෙමමයි !!!
හිමේ අඩිය ගහගෙන කෙලින් ඉන්න අමාරුයි වගෙ. වැටෙන්න යනව. ඒ මදිවට සපත්තුව ඇතුලට හිම පිරිල.
එකපාරටම හෙලවෙන එක තවත් වැඩි උනා. ඒ පාර මොකක් වෙන්න යනවද කියල මට හිතාගන්න බෑ.... දැන්නම් හිටගෙන ඉන්න අමාරුයි. ඒත් මේ හිම ගොඩේ ඉඳගන්ඩ කියලයැ. මම පුලුවන් තරම් පාත්වෙලා නොවැටී ඉන්ඩ උත්සහකරා. එහා පැත්තෙ කට්ටිය කෑගහන එකත් වැඩිවෙලා. ආතල් එකෙන් එහාට බයහිතෙන තරමටම හෙල්ලුනා.
ඒ විදිහට ටික වෙලාවක් තිබිල එක පාරටම නතරවුනා !!!
බිල්ඩිම එහෙමම තියනවා. කඩන්වැටිල නැහැ. වටේ පිටේ පෙනෙන්න කරදරයක් නැති පාටයි. ඒත් ඉස්සෙල්ල වගේ ආපහු එන්න පුලුවන්.
මම ලඟ හිටිය ජප්ප දිහා බලල හිනාවක් දැම්ම.
"ටිකක් දරුණුයි වගේ නේද?" මං ඇහුව
"ඔව්, මේක නන් ලොකු එකක්" ඔහුටත් මොකද්ද උනේ කියල හිතාගන්ඩ බැරුව වගේ.
පොඩි අස්වැසිල්ලක් දැනුනත් ඊට යටින් මොකක් හෝ දරුණු දෙයක් අවට කොහේ හරි සිද්දවෙලා තියනව කියන හැඟීම මට දැනුනා. මීට කලිනුත් අපට පොඩිවට දැනුනු භූ චලන ජපානයේ සමහර තැන්වලට ටිකක් දරුණුවිදිහට දැනිල තිබ්බ. ඉතින් මේක ගැන කවර කතාද?
ආපහු අනතුරක් නෑ වගේ දැනුනට පස්සෙ මම හිම ගොඩෙන් මෑත් වෙලා බිල්ඩිමේ අයින දිගේ මිදුලෙ අනිත් පැත්තට ආවා.
එතන රැස්වෙලා ඉන්න සෙනග තවම ඒ විදිහටම ඉන්නව. ප්‍රොෆෙසර්ල කීප දෙනෙක්ව මූනට හම්බවුනා. එයාලත් එක්ක පොඩ්ඩක් හිනාවෙලා වචනයක් දෙකක් කතාකරල මම බැලුව මිහෝ සං ඉන්නවද කියල. මෙන්න එයා ඉන්නව කැම්පස් එකේ පිරිසිදුකිරීමේ වැඩ කටයුතු කරන සෙට් එක ලඟ බිම ඉඳගෙන. කන්දෙකත් වහගෙන වගේ හිටියෙ. හොඳටම බයවෙලා. මං එයා ඉන්න තැනට ඉක්මනට ගියා.
"මිහෝ සං"
එයා මන් දිහා අසරණ වෙච්ච මූනෙන් බැලුවා. මට හොඳටම පවු කියල හිතුනා. ඒ තරමට බයවෙලා.
"අවුලක් නෑ නේද?" මං ඇහුවා.
"අවුලක් නැත්තෙ නෑ. හොඳටම අවුල් !! හොඳටම අවුල් !!!" එයා උත්තර දෙන්න කලින් ලඟ හිටිය ජපන් කොල්ලා හයියෙන් කෑගහල උත්තර දුන්න. හරියට අර මැලිබන් ඇඩ් එකේ "අති විශිෂ්ටයි සර්" කියල කෑගහනව වගේ. එකම වෙනස ඒ කියපුවිදිහේ කිසිම විශිෂ්ට ගතියක් තිබ්බෙ නෑ. පොරත් බිම ඉඳගෙන. මිනිහ බයවෙලා මිහෝසංට වඩා. කටහඬ වෙව්ලනවා.
මට හිතුන "මාත් අහපු ගොන් ප්‍රශ්නයක්" කියල.
මිහෝසං ටික වෙලාවකින් ටිකක් සාමාන්‍ය තත්වෙට පත්වුනා. මම එයා එක්ක එතන එහෙමම හිටිය.
ඒ අතරෙ කල්පනා කලේ 'සෙට් එකේ අනිත් අය කොහෙද' කියල. රසික, සේනක අය්යා. ඒ දෙන්න නන් ලැබ් එකේ ඇත්තෙ. ඒත් මුන් එකෙක්වත් පහලට බැහැල නෑනේ. සමහරවිට රසික වැඩට ගිහින් ඇති.
දමිත් නන් හවස තුනට ගෙදර ඉන්න ඕනෙ නිසා පිටත්වෙන්න ඇති. පොර මේ වෙලාවෙ එක්කෝ පාරේ, එහෙම නැත්තන් ගෙදර.
ඉෂාර ටෝකියෝ, ප්‍රභාත් සයිතමාවල. ප්‍රභාත්ගෙ වයිෆ් නදීකා කොහෙද දන්නෙ නෑ. එයා වැඩකරන තැනවෙන්න ඕනේ මේ වෙලාවෙ නන්.
මම රසිකගේ අංකෙ එබුවා. හ්ම්ම්ම්....කෝල් කරන්න බෑ. "නෙට්වර්ක් බිසී"....
ඊට පස්සෙ දමිත්ගෙ අංකෙ එබුවා. ඒත් එහෙමමයි. ඔය විදිහට හැමෝටම කතාකරන්න බැලුවා.
ඔන්න එතකොටම තමයි ආපහු හෙල්ලෙන්න ගත්තෙ. කට්ටියම කලබල වුනා. බිල්ඩිමෙන් ඈතට දුවන්න ගත්තා. මිහෝ සං ආපහු බයවෙලා. ඒත් එක්කම හෙල්ලෙන එක අඩුවුනා. ඒක නිකන් පොඩි හෙල්ලිල්ලක් විතරයි.
"තවම ඉවර නැද්ද?" එයා බයෙන් අහනවා.
ඒකට දෙන්න උත්තරයක් මං දන්නෙ නෑ.
"ශේප් වගේ...." මං එහෙම කිව්වෙ ලොකු විශ්වාසෙකින් නන් නෙවේ.
ඊට පස්සෙ එතනට මිහෝ සංගේ යාලුවෙක් වෙච්ච අපේ චූටි ජපන් ටීචර් ආවා. දෙන්න කෑගහලා බදාගෙන සුවදුක් විමසන්න ගත්තා.
"කරදරයක් නෑ නේද? ඇති යන්තන්" ඇය කිව්ව.
"කෝ අනිත් අය?" ඒක ඇහුවෙ මගෙන්.
"ඒක තමයි සෙන්සේ මම මේ ට්‍රයි කරනව රසිකට කතා කරන්න. ඒත් ගන්න බැහැනෙ" මම ආපහු රසිකට කතා කරන්න උත්සහයක් ගන්නගමන් කිව්වා. පොර ලැබ් එකේ ඉන්නවනම් පහලට එන්න වෙලාව හරි. ඒත් නෑනෙ...
මිහෝ සංට යාලුවෙක් හම්බවෙච්ච නිසා මම පොඩ්ඩක් ඇවිදල වට පිට බැලුව. චීන සෙට් එකම පහලට බැහැලා. බබෙක් හම්බවෙන්න ඉන්න ලස්සන චීන ගෑනුළමයා එයාගෙ සැමියා එක්ක එතන හිටියා. ඒ දෙන්නම හිටියෙ හොඳටම කැළඹිලා. මම වටේට ඇවිදල කට්ටිය එක්ක කතාකරන අතරෙ රසිකට, දමිත්ට කෝල් කරන්න උත්සහය දිගටම කරගෙන ගියා. ඒත් ඒක සාර්ථකවුනේ නම් නැහැ. "මේ වගේ නෙට්වර්ක් මොකටද? ඕනෙ වෙලාවට කෝල එකක් ගන්න බැරි නම්..." මට එහෙම හිතුන.
ඔය අතරෙ ආපහු පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලුනා. මං බැලුවා මිහෝ සං දිහා. එයා එතන නැහැ !!! වට පිටේ බැලුව. පේන්න නැහැ. "කොහෙ යනවද මන්දා, මේ වෙලාවෙ.." මට බයක් හිතුනා. සමහරවිට බිල්ඩිම ඇතුලට ගියාද දන්නෙ නැහැ. මං ඒ පැත්තට යද්දි එයා එක්ක වැඩ කරන කීපදෙනෙක්ම බිල්ඩින් එක ඇතුලට යනවා දැක්ක. ෂුවර් එකටම එයත් යන්න ඇති. ආපහු හෙල්ලෙන්න ඉඩක් තියනවා. ඒ හින්දා බිල්ඩිමේ ඉන්න එක භයානකයි කියල මට හිතුනා. මම මිහෝසංව එක්කගෙන එන අදහසින් ඇතුලට යන්න හිතාගෙන. මෙන්න බොලේ දොර ගාව වහලෙන් කෑල්ලක් කඩන් වැටිලා. එතන බිම පැලිලා. ලොකු ඉරක් ගිහින්. කට්ටිය වට වෙලා ඒක දිහ බලන් ඉන්නව. මම එතන නතරනොවී ඇතුලට ගියා. කොරිඩෝවෙ මැද හරියට වෙන්න තමයි එයාගෙ ඔෆිස් එක තියෙන්නෙ. එතනට ලංවෙද්දි දැක්ක කොරිඩෝව ප්‍රධාන ශාලාවෙන් වෙන්කරන තැන දෙපැත්තෙ පොඩි දොරවල් දෙක වැහිලා තියනව. ඒතන මැද ලොකු දොරකුයි, දෙපැත්තෙ පොඩි දොරවල් දෙකකුයි තියනව. ගින්නක් වගේ හදිසි ආපදාවකදි මේවා ඉබේ වැහෙන්න හදල තියෙන්නෙ. ඒකෙන් ගින්නක් වගේ දෙයක් පැතිරෙන එක වලක්වනවා. එහෙම දොරක් තියනව කියල මම දැනන් හිටියෙ නෑ. දවසක් ඔතන කැරකි කැරකි ඉන්න වෙලාවක දැවැන්ත කනුවෙ බිත්තියේ තියන අත්භූත දොර දැක්ක. පුදුම වෙලා බලන් ඉද්දි වාසනාවට මිහෝසං එතනට ආව. එයා තමයි විස්තරකලේ ඒ දොරවල් ගැන. ඒ හින්දා ඒක දකිද්දි පුදුමවුනේ නැහැ.
ඔන්න එතකොටම ආපහු පොඩ්ඩක් හෙල්ලුනා. මිහෝසං ඔෆිස් එකෙන් එලියට ආව එයාගෙ තලබනුවයි, මල්ලයි අරගෙන. එයා ඒව ගන්න ඇවිත් තියෙන්නෙ. අම්මට කතාකරන්න වෙන්න ඕනේ.
මිහෝසං ජීවත්වුනේ එයාගෙ අම්ම එක්ක. එයාගෙ තාත්ත නැහැ. පවුලෙ ඉන්නෙ එයා විතරයි. එයා අම්මට හරිම ආදරෙයි. එයා කොච්චර බයවෙලා හිටියද කියනවනන් මම හිතුවෙ නෑ ඉන්න තැනින් අඩියක්වත් හෙල්ලෙයි කියල. ඒත් ඒ ඔක්කොම අමතක කරල අම්මට කතාකරල බලන්න තමයි මේ ඇවිත් තියෙන්නෙ.
"අම්මට කතාකලාද?"
"ගන්න බෑ, ගන්න බෑ" ඇය දුකින් කිව්වා.
"අම්ම කරදරයක් නැතුව ඇති. බය වෙන්න එපා. තවම පොඩ්ඩ පොඩ්ඩ හෙලවෙනව. ඇතුලෙ ඉන්න එක හරි නැහැ. එළියට යමු..." මං කිව්ව. එයා ඒකට එකඟවෙලා මාත් එක්ක එළිය පැත්තට අඩිය තියන්න ගත්ත. එතකොටම උඩ තට්ටුවේ ඉඳන් කොයේන් සෙන්සෙගෙ බිරින්දෑ කළබලයෙන් පහළට එනව.
"ඇති යන්තම්, කෙල්ලගෙන් ඊමේල් එකක් ආවා.... මේ තියෙන්නෙ" ඇය ඒක මිහෝසංට පෙන්නුවා. කෙල්ල කියල කිව්වෙ තවම ඉස්කෝලෙ යන එයාගෙ දුව. ඊ මේල් එකේ කියල තිබ්බෙ එයා කරදරයක් නැතුව ඉන්නවා, බයවෙන්න එපා කියල.
"ඇති යන්තම්" ඇය සැනසුම් සුසුම් හෙලුවා.
ඔන්න ඒ වෙලාවෙ තමයි තවත් අමුතුදෙයක් දැක්කෙ. කොරොඩෝවෙ දිගටම පොඩි පැලුම් ඉරක් ගිහින්. මම ඒක කට්ටියට පෙන්නුවා. ඔන්න කට්ටිය පුදුම වෙන්න ගත්තා. ජපන්නු පුදුම වෙන්න ගිහාම උපරිමේටම ඒක කරනවා. සද්දෙ දාලා තමයි පුදුම වෙන්නෙ. අනික පොඩි දේටත් පුදුම වෙලා කෑගහනව. ඉතින් ඒ පුදුම වීමේ වටය අවසන් වෙලා කට්ටියම ආපහු එළියට බැස්සා.
ඔය අතරේ දිගටම මම කට්ටියට කෝල් කරන්න උත්සහ කලා. ඊට පස්සෙ මට මතක් උනේ ඉන්දිකාව. එයා නෑදෑ සහෝදරියක්. මේ දවස්වල ඉන්නෙ තෝකියෝ. එයා මාස තුනක ට්‍රේනින් එකකට මෙහෙට ඇවිත් ඉන්නෙ. ගිය සතියෙ මෙහෙට ඇවිත් දවසදෙකක් ඉඳල ගියා. "එයා හොඳටම බයවෙලා ඇත්තෙ" එහෙම හිතල එයාට කෝල් කරන්න බැලුව. "මේ පෝන් එක දැන් හොඳයි බල්ලන්ට ගහන්න". කාටවත්ම කතාකරගන්න බැරි වෙද්දි මට එහෙම හිතුනා.
ටවුන් එක පැත්තෙන් ඇම්බියුලන්ස් නලා සද්දෙ ඇහෙන්ඩත් පටන් අරන්. මම මිහෝසංට පොඩ්ඩක් කියල ශොප් එක පැත්තට ඇදුනා. මිනකොව බලන්න. කැන්ටින් එක ඇතුලෙ සෙනග පිරිලා. ඒ පැත්තෙන් ඇතුල්වෙලා බුක්ශොප් එකට යන්ඩ ඕනේ. එහෙම හිතාගෙන කැන්ටින් එකෙන් ඇතුලට එද්දිම මිනා දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා. මං ඇයව වැළදගෙන ඔලුව අතගෑවා.
"කරදරයක් නෑ නේද? මං හොඳටම බයවෙලා ඉන්නෙ...." ඈ කීවා. මිනා එක්ක එකට වැඩකරන අනිත් ලස්සන ගෑනුලමයත් එතන. කැම්පස් එන්ඩ ඉන්න අලුත් ළමයි වෙනුවෙන් අද කැන්ටින් එකේ තියන ප්‍රෝග්‍රෑම් එකේ බුක්ශොප් එකේ නියෝජනය විදිහට ඒ දෙන්න එතන හිටියබවක් මට තේරුනා. එයාල හිටිය මේසේ සල්ලි වගයක් දාපු පෙට්ටියකුත් තිබුනා.
මිනා එයාගෙ අත්දැකීම විස්තර කරන්න පටන්ගත්තා. ලොකු විස්තරයක් නෙවේ. ඒ වෙලාවෙ කොහෙද හිටියෙ, මොකද ඊට පස්සෙ කලේ වගේ වචන කීපයක එකතුවක් විතරයි ඒක. ලොකු විස්තරවලට මේක වෙලාවක් නෙවේ. ඊට වඩා හිතන්න ගොඩක් දේවල් අපට තිබ්බා.
"මට මගේ හස්බන්ඩ්ට කෝල් කරන්න බැහැනෙ අනේ....ට්‍රයි කරා සෑහෙන පාරක්" ඇය පෝන් එක අතට ගන්න ගමන් කීවා. එයා කිසිම දවසක එයාගෙ මනුස්සයාව හඳුන්වද්දි නම කිව්වෙ නැහැ. හැමදාම කිව්වෙ "මගෙ හස්බන්ඩ්" කියලා.
"මොකද්ද අංකේ? කෝ දෙන්න බලන්න. මමත් ට්‍රයි එකක් දීල බලන්නන්කො" මම මගේ සාක්කුවට අත යවන ගමන් ඇහුවා.
"අනේ ඇත්තටමද? තැන්කූ..."
මං කීප සැරයක් ට්‍රයිකලා. ඒත් වැඩේ හරියන පාටක් නැහැ.
"ශොප් එකට මොකද වෙලා තියෙන්නෙ?" ඒ අතරෙ මං ඇහුවා.
"ඉවරයි... ගන්ඩ දෙයක් නැහැ. ඔක්කොම බිම... එන්නකො මාත් එක්ක. පෙන්නන්න වෙලා තියන දේ.." ඇය අතිනුයි ඇස්වලිනුයි වෙලාතියන දේ තරම විස්තර කලා. ඊට පස්සෙ අනිත් ගෑනුළමයට උපදෙස්වගයක් දෙන්න පොඩ්ඩකට නතරවුනා.
"ආපහු හෙල්ලුනොත් ඔය සල්ලි ටිකත් අරන් එළියට දුවන්න හොඳේ. මං පොඩ්ඩක් එහා පැත්තට ගිහින් බලල එන්නන්" එයත් කීකරුව ඔලුව වැනුවා. අනේ පව්... සල්ලි ටිකත් අරගෙන දුවන්නලු...
"මේ.... ඔයා සල්ලි අහුල අහුල ඉන්න එපා. හෙල්ලුනොත් සල්ලි ටික දාල හරි දුවන්න එලියට" මං හිනාවෙලා කිව්වා. දෙන්නම හිනාවුනා. මං විහිලුවට එහෙම කිව්වට එහෙම දෙයක්වෙලා බැරිවෙලාවත් සල්ලි නැතිවුනොත් එහෙම අනිවාර්යෙන් මේ දෙන්නගෙ පඩියෙන් ඒක ගෙවන්නවේවි. එයාලා ඒක හොඳටම දන්නවා. ඒක නිසානෙ මෙච්චර දෙයක් වෙලාතියෙද්දිත් ලොක්ක කියනතුරු රාජකාරිය දිගටම කරගෙන යන්නෙ.
ඊට පස්සෙ මමයි මිනකොයි ශොප් එක පැත්තට ඇදුනා. ඒක ඇතුලට ආපු ගමන්ම දැක්ක දෙයින් මිනා ඔලුවෙ අතගහගත්තා.
"දෙයියනේ.....බලන්න වෙලා තියෙන දේ"
බඩු හැමතැනම පෙරලිලා. කෑම බීම බිම සී සී කඩ. පොත් රාක්කවලින් වැටිල හැමතැනම විසිරිලා. එතන වැඩකරන තවත් ගෑනු ළමයි දෙන්නෙක් ඒවා අස්කිරීමේ යෙදිල ඉන්නවා.
ඒ අතරෙ මිනකො වටේට ගිහින් එයාගෙ කැමරාවෙ ඒවා සටහන්කරගන්න පටන් ගත්තා. මට ඒ වෙලාවෙ හිතුනෙ ලංකාවෙ කැම්පස් එකක එහෙම මෙහෙම දෙයක් වුනානන් ඊටපස්සෙ සිද්දවෙන දේ. අඩුම ගානෙ කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් හරි ඔතනට සෙට්වෙලා මොන මොනවහරි අරන් මාරුවෙනවනෙ. මේක ඇතුලටනම් මොකෙක්වත් ආපු පාටක්වත් නෑ.
ඊට පස්සෙ මම මිනකොට කියල ආපහු යන්න පිටත්වුනා.
"මේක ආරංචි වෙච්ච ගමන් ගෙදරින් හොඳටම බයවේවි, දැන් වෙලාව ඇති නිවුස් එක යන්න..." මගේ හිතට තවත් බරක් වැටුනා. මම පෝන් එක දිහා බැල්මක් දැම්මෙ කෝල් එකක්වත් දීල තියනවද කියල බලන්න. ඒත් මම හිතන්නෙ නෑ මේ වෙලාවෙ මෙහෙට කතාකරන්න පුලුවන් වෙයි කියල. ඒ හිතුවිල්ලත් එක්ක මං මුදුලට ගියේ කෝල් කරන්න 'ට්‍රයි' කරන 'ලිස්ට්' එකට අම්මගෙයි, තාත්තගෙයි අංක දෙකත් එකතු කරගෙන.
මිහෝසං තවම හිටපු තැනම ඉන්නවා. එතන ඉන්න තවත් කීපදෙනෙක් කැමරා අරන් පොළොව පැත්තට අල්ලලා පොටෝ වගයක් ගහනවා. ලංවෙලා බලද්දි තමයි වැඩේ තේරුනේ.
බිම පැලිලා තියන තැනකින් වතුර ගලනවා. හරියට උල්පතක් මතුවෙලා වගේ. සෑහෙන්ඩ වතුර ගොඩක් එකතුවෙලා ගලාගෙන යනවා. ඒකට හේතුවනම් මට හිතාගන්න බැරිවුනා. සමහර විට වතුර බටයක් කැඩිල වෙන්නත් පුලුවන්.
"අන්න රසික එනවා...." මිහෝසං එකපාරටම කෑගැහුවා. රසික බෑග් එකත් එල්ලගෙන කැම්පස් එකේ ඉස්සරහ දොරටුව පැත්තෙන් මිදුල දිගේ එනවා පනාවකුත් දාගෙන. මං හිතුව හරි. පොර පාර්ට් ටයිම් කලේ කැම්පස් එක ඉස්සරහ තියන සොෆ්ට්වෙයා කොම්පැණියෙ. මිනිහ එතනයි ඉඳල තියෙන්නෙ.
"ඔතනින් අයින්වෙලා වරෙන්, වතුර ගලනවා" මම මතක් කරල දුන්න.
"අම්මට සිරි !!! මේ මොකද වෙලා තියෙන්නෙ?" කියල අහගෙන, වතුරෙන් සපත්තුදෙක බේරගෙන පොර අපි හිටිය තැනට ආවා.
"මං වැඩ කර කර හිටියෙ. එතන අද මම විතරයි, කොම්පියුටර් ටික ඔක්කොම පෙරලිලා, ගන්ඩ දෙයක් නැහැ. ඊට පස්සෙ මම දොර වහල මේ පැත්තට ආවා"
"උඹ මොකද කරේ හෙල්ලෙද්දි?"
"මොනව කරන්ඩද බන්, ඔහේ හිටිය ඇතුලට වෙලා. ඊට පස්සෙ වටේ පිටේ කට්ටිය එළියට දුවනව දැකල මාත් ඔන්න ඔහෙ එළියට දිව්වා" මිනිහ කිව්වෙ වැඩිය ගානක් නැතිව.
ඊට පස්සෙ මිහෝසං එක්ක කතාවට සෙට්වුනා. අපේ සෙට් එකෙන් මිහෝසං එක්ක වැඩිපුරම හිතවත් රසික. දැන් පොර මෙතන ඉන්න නිසා මට පොඩ්ඩක් අපේ ලැබ් එක පැත්තෙ ගිහින් එන්ඩ පුලුවන්. මගේ සෙන්සෙ තවම ලැබ් එකේ ඉන්නව ඇත්තෙ. එයාට කොහොමද කියල පොඩ්ඩක් බලල එන්න ඕනේ. අනිත් එක හදිස්සියට එළියට පනිද්දි ජැකට් එකක් දාගෙන හිටියෙ නෑ. හීතල දැන් ඇටකටුවලටත් දෙන්න පටන් අරන්. අනිත් එක දවල් නාලා ඉවරවෙලා දාගත්ත අලුත් මේස් දෙක ඇතුලට හිම ගිහින් කකුල්දෙක හිරිවැටෙන්නත් වගේ.
අලි මදිවට කොටි කිව්ව වගේ ඔන්න ඒ පාර හිම වැටෙන්නත් පටන් ගත්තා. දැන්නම් ඉතින් ඇතුලට යන්නම වෙනවා වහලෙ ඔලුවට කඩන් වැටුනත්. අපි කට්ටියම ඇතුලට සේන්දුවුනා. ඊට පස්සෙ මම කට්ටියගෙන් පොඩ්ඩකට සමුඅරගෙන තුන්වෙනි තට්ටුවට නැග්ග. ලැබ් එකේ දොර බාගෙට ඇරගෙන සෙන්සෙ ඉන්නවා. එයාට වැඩි ගානක් නැති පාටයි.
"ප්‍රශ්නයක් නෑ නේද සෙන්සේ...?"
"නෑ...මට කරදරයක් නෑ...ඒත් බලන්නකො වෙලාතියෙන දේ..." ඔහු දොර ඇරල මට ඉඩදෙන ගමන් කිව්වා. ඇතුලට පොඩ්ඩක් මූන දාල බැලුවා.
ඔය වෙලා තියෙන්නෙ.....!!!
වහලේ කොනට වෙන්ඩ සිවිලිමේ තීරුවක්ම කඩාගෙන වැටිල.ඒකේ කෑලි හැමතැනම. ඒත් බඩුවලට ලොකු හානියක් පෙනෙන්ඩ තිබ්බෙ නෑ. හැබැයි ඔක්කොම දේවල් පෙරලිලා.
"සෙන්සෙගෙ කාමරේ මොකද?" මං ඇහුවා.
"ඒකෙ නම් එච්චර දෙයක් වෙලා නැහැ, සිවිලිම කැඩිලා නැහැ"
මං ලැබ් එක ඇතුලට ගිහින් බැලුවා. සිවිලිම තැන් තුනකින් කඩන් වැටිලා. තයිර සංගෙ පුටුව උඩ ලොකු සිවිලිම් කෑල්ලක්. පොර හිටියනම් ඔලුව උඩට තමයි වැටෙන්නෙ. වාසනාවට මිනිහ මේ දවස්වල නැත්තෙ.
මං මගේ මේසේ ලඟට ගියා. කොම්පියුටරේ බිම. වෙන කිසිම හානියක් නෑ. වැටිල තිබ්බ සමහර දේවල් පුලුපුලුවන් විදිහට අයින්කරලා එලියට ආවා.
"අර වැඩේට අපි තව ටිකකින් යමු..." එහෙම කියල සෙන්සෙ එයාගෙ කාමරේ පැත්තට ගියා.
'අර වැඩේ' කිව්වෙ එයගෙ මේසේ අරන් යන වැඩේ; ඒක අපි කලින්ම දාගෙන තිබ්බෙ හවස තුනට. මං පුදුම වුනා. මෙච්චර දෙයක් වෙලත් සෙන්සෙ ඒ වැඩේ කරන එක ගැන තාම හිතනවා. මට නන් හිතාගන්න බෑ මේ ජපන් මිනිස්සු ගැන.

(ඉතිරිය මතුවට )

5 comments:

  1. "මේ විදිහට හෙලවෙන එකේ පොඩි ආතල් එකකුත් තියනවනෙ..."

    ඇ...මොන පිස්සුද?අර වෙච්ච විනාසෙ අම්මෝ...පින්තූර ,වීඩියෝ දෑක්කම අපිට එහෙම හිතෙනව නම් ඇත්තටම සිද්දියට මුහුන දුන්න අයට කොහොමට ඇද්ද?

    ReplyDelete
  2. මට පොඩ්ඩක් හෙලවෙද්දි අවංකවම හිතුන දේ තමයි ඒ.... ඒත් දිගට කියවගෙන යද්දි ඔයාට තේරෙයි ඒ අදහස වෙනස්වෙන හැටි..

    ReplyDelete
  3. ලිපි ඔක්කොම කියවල තියෙන්නෙ. ඒත් අදහස් දක්වන්න පුඵවන් දෙයක් නෙවෙයි මේක. ඒක නිසා කියවන්න විතරක් සිද්ධ වෙලා. ඉතිරි ටිකත් ලියන්න.

    ReplyDelete
  4. ඔව්.. ඉතිරි ටිකත් දිගටම ලියන්න....

    ReplyDelete
  5. ``` Outsider```, charmi,
    වෙලාව තියන විදිහට ලියන්නන්. ඔව්, වෙච්ච සිදුවීම් ටික විතරයි මේ ටිකේ ලියල තියෙන්නෙ. ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න "පසු සිදුවීම්" වලදි අදහස් මතුවේවි කියල හිතනවා.

    ReplyDelete