Sunday, March 13, 2011

මං කරදරයක් නැතුව ඉන්නවා...















දවස මාර්තු 14 සඳුදා. වෙලාව පාන්දර 2.30යි. සිවිලිමෙන් කොටසක් ගැලවී ගොස් තිබෙන ලැබ් කාමරයේ පරිගණක තිරය ඉදිරිපිට මම වාඩි වී සිටිමි. සෝපා මත හා බිමද නිදාසිටින මා සඟයන් තදින් හුස්ම ගන්න ශබ්දය මට බාධාවක් නොවේ. දැන් දවස් දෙකක් තිස්සේ ඔවුන් ගතින්ද සිතින්ද බොහෝ සේ වෙහෙසී සිටින බව මා දනිමි.
මගේ ඉදිරිපිට විශාල රූපවාහිනී තිරයේ දිස්වන්නේ හිත සනසන ලස්සන රූප නොවේ. එයින් නැවත නැවතත් පෙන්වන්නේ ත්සුනමියේ දසුන්ය; භූමිකම්පාවේ හිත් සසල කරවන දසුන්ය. ඒත් රූපවාහිනිය වසා නිදාගන්නට නොහැකිය. ෆුකුශිමා න්‍යෂ්ටික බලාගාරයට මෙහි සිට ඇත්තේ කිලෝමීටර සියයක දුරකි. කොයි මොහොතේ ඒ ගැන අවදානම්සහගත තොරතුරක් තිරයේ මතුවේදැයි අවදානයෙන් සිටිය යුතුය.
රෙදි ඇසිරූ බෑග්, සීතලට එරෙහි ඝන බ්ලැන්කට්, පාන් නූඩ්ල්ස් සැමන් ඇතුලු කෑමවර්ග සහ සරල බෙහෙත් වලින් කාර් පුරවා එළියේ නවත්වා ඇත්තේ ඕනෑම අවදානම් මොහොතකදී පිටවී යාමටය. ලැබ් එකේද සරල ආහාර සමග බීමවර්ග රැස්කර ඇත්තේ එළියට යාමට නොහැකිව මෙහි සිරවුවහොත් දවසක් දෙකක් ගතකරගන්නට පුලුවන් වනු පිනිසය.
මෙහි අවදිව සිටින්නේ මා පමණි. ෆේස්බුක්, ජීමේල් සහ ස්කයිප් තුල මා මේ මොහොතේදී ඔන්ලයින්ය. යුනිවසිටිය පුරා ලැබ්වල සිසුන් මා ලෙසින්ම රැය පහන් කරනබව ඒවා මට කියයි. මගේ බ්‍රවුසරයේ ටැබ් රැසක නිවුස් වෙබ් පිටු ඇරී ඇත.
දැනට ප්‍රධාන අවදානම් තුනක් මගේ හිතට වදදෙයි.

1. ෆුකුශිමා න්‍යශ්ටික බලාගාරයේ 1 ඒකකයේ පිටත බිත්තියේ පුපුරායාම නිසා සිදුවන විකිරණ කාන්දුවීම හේතුවෙන් ඒ අවට කිලෝමීටර 20ක් ඇතුලත ජනතාව දෙලක්ෂයකට ආසන්න පිරිසක් ඉවත්කර ඇත.ඊට අමතරව විශාල ප්‍රදේශයක්පුරා ජනතාව විකිරණවලට නිරාවරණය වී ඇත්දැයි පරික්ෂාකර ඇත. අප සිටින්නේ බලාගාරයට කිලෝමීටර 100ක් පමණ දුරිනි.

2. එම බලාගාරයේ 3 ඒකකය පුපුරායාමේ අවදානමක් ඇත. එවැනි සිදුවීමක් වුවහොත් එය විශාල හානියක් සිදුකලහැකි අතර මේ ප්‍රදේශයට සෘජු බලපෑමක්ද කරනු ඇත.

3. ඉඳහිට සුලු සෙලවීම් සිදුවන අතර තවත් ඒකක 7ක පමණ භූමි කම්පාවක් විය හැකිබවට පලකරන අනාවැකි. ඒ මගින් නැවත ත්සුනමි තත්වයක් ඇතිවිය හැකි බවටද පැවසේ.

මේවා ඇත්ත හෝ බොරු විය හැක. නමුත් මාධ්‍ය මගින් වැඩි තොරතුරක් නොදෙන වාතාවරණයක් තුළ කටකතාවලින් පවා සිත් කැළඹේ.

ඉහත 1 සහ 2 අවදානම් වලින් මිදෙන්නටනම් මෙම ස්ථානයෙන් ඉවතට යා යුතුය. ඒත් කොහේ යන්නද? තෝකියෝ පැත්ත ආරක්ෂාකාරී නොවන අතර හෙට එහි විදුලිය කැපීමක්ද සිදුවනු ඇත. ෆුකුශිමා බලාගාරයට ප්‍රතිවිරුද්ධ වෙරළේ නීගතා වෙතට යන්නට පුලුවන. එහෙත් ඉහත 3 අවදානම නිසා ත්සුනමියක් ඇතිවුවහොත් එය ආරක්ෂාකාරී නොවනු ඇත. අනෙක භූමිකම්පාවක් කොහේ ඇතිවේදැයි කිවනොහැක. අනෙක ඉන්ධන හා ආහාර වල හිඟයක් මේ අවට පවතින නිසා කොහේ හෝ ගොස් මග හිරවීමටද නොහැකිය. එනිසා දැනට බොහෝදෙනෙකු මෙන්ම අපද මෙහි නතරවී සිටිමු.


















වාසනාවට අන්තර්ජාලය ක්‍රියාත්මකය. එය විශාල සහනයක්ලෙස දැනෙන්නේ අප තනි නැතිබව බොරුවට හෝ අපට ඒත්තුගන්වන්නට එයට හැකිබැවිනි.
යුනිවර්සිටියේ පොත්කඩයේ වැඩකරන මා මිතුරිය මිනා සමග හවස්වරුවේ සිදුකල ෆේස්බුක් කතාබහේදී ඇය කිව්වේ ඇය කොහේවත් නොයනබව හා හෙට උදෑසන වැඩට එන බවත්ය. "ඒ මගේ රාජකාරිය" ඇය කීවේ එහෙමය. ඈ චැට් එකෙන් සමුගන්නට පෙර ටයිප් කල වචනපේලිය මෙලෙසය "Please come and show me your fine face!!" . ඉතින් හෙට උදෑසන (නැත අද උදෑසන ) මා ඈට මාගේ 'සතුටු' මුහුණ පෙන්වීමට යාමට සිතා සිටිමි !!!

ප.ලි. : මෙහි මාතෘකාව ලෙස යෙදුවේ මහ භූමිකම්පාවට පසුව මා තාත්තාට අමාරුවෙන් යැවූ SMS පණිවිඩයයි. සිකුරාදා හවස සිට මා ලැබූ අත්දැකීම් ස්වල්පය හෙට සිට ලියා මෙහි පළකිරීමට බලාපොරොත්තුවෙමි. මේ සටහන ලියන අතරතුරද සුලු සෙලවීම් හතරක් පහක් ඇතිවිය. සියල්ල හෙට සිට හොඳ අතට හැරෙනු ඇතැයි බලාපොරොත්තුවෙමි. දුකසැප විමසූ, අපගැන සිතින් වෙහෙස වූ, සියලුදෙනාට ස්තූතියි... !!!

15 comments:

  1. කිසිම අනතුරක් ඔබටවත්, මිතුරන්ටවත් සිදුවන එකක් නෑ... හිත හයිය කරගෙන සිහියෙන් වැඩකරන්න. මේ වෙලාවේ එයයි අවශ්‍ය...

    ReplyDelete
  2. ඔබට බුදු සරණයි සොයුර! හැම දෙයක්ම හොඳින් විසඳේවි!

    ReplyDelete
  3. චමිල ඔයාට අනතුරක් හෝ කරදරයක් ඇති වෙන්නෙ නෑ. ආයෙ ඒ වගේ තත්වයක් ඇතිවෙන එකක් නෑ. බය වෙන්න එපා.
    ඔයාට බුදු සරණයි!

    ReplyDelete
  4. අනේ මල්ලියා . . උඹ ගැන අමතක වුනානේ බන් සමාවෙයන් ඒකට.
    චේජනා ලිපියක් දාලා තිබුනු නිසා එයා ශේප් කියලා දැන ගත්තා.
    මතක මංපෙත ලියන මල්ලී ෆේස් බුක් එකේ චැට් කලා.
    ඔයාට මසෙජ් එකක් වත් එවන්න බැරි උනා.
    සමාවෙයන්.
    කොහොම නමුත් උඹ කරදරයක් නැතිව ඉන්නවා කියලා පෝස්ට් එකක් දාපු එක ලොකු දෙයක් මළේ.

    ReplyDelete
  5. කලින් කමෙන්ට් එක දැම්මේ පෝස්ට් එකේ මාතෘකාව කියවලා.
    බය වෙන්න එපා මල්ලී . . . හැම දේම දැන් යතාතත්වයට පත්වෙමින් තිබෙනවා කියලා නේද නිව්ස් වල කියන්නේ??

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම...!!!
    දුකා අය්යා : ඒකට කමක් නෑ... අපි තවම හොඳින් ඉන්නවා. ස්තූතියි...

    ReplyDelete
  7. ආහ්..... චමිල...............................................................................................................................................

    ReplyDelete
  8. ඔබ ලංකාවට ආවාද??

    ReplyDelete
  9. චාර්මි !!! ඔන්න තවත් එකක් දැම්ම...

    Anonymous : නැහැ...තවම මම ජපානයේ. තවම හිටපු තැනමයි... ස්තූතියි !!!

    ReplyDelete
  10. දැන් තත්ත්වය හොද අතට හැරිලා ඇති කියලා හිතනවා.ප්‍රවේශමෙන් ඉන්න.

    ඔයාගේ බ්ලොග් එකට මම අදමයි ආවේ නැවත්ත එනවා.

    ReplyDelete
  11. ස්තූතියි...!!!

    ReplyDelete
  12. දැන් නම් තත්වය ගොඩක් පාලනය වෙලා නේද? සහෝදරයටයි යාළුවන්ටයි බුදු සරනයි....

    ReplyDelete
  13. Phoenix (ගිනි කුරුල්ලා) : දැන්නම් හැමදේම සාමාන්‍ය තත්වෙට පත්වෙලා. ස්තූතියි සහෝ...

    ReplyDelete
  14. චමිල,
    ඔයා හොදින්, සුවෙන් ඇති කියලා හිතන්වා.පරක්කු උනා හොයල බලන්න.අදයි ඔයගෙ බ්ලොග් එක දක්කෙ.එත් මම හිතුවා ඔය බ්ලොග් ලියන්ව අති කියලා.
    මදු අක්ක.

    ReplyDelete
  15. මදු අක්කේ.... දැකපු කල්. මං හොඳින් ඉන්නව. දැන් සෑහෙන්ඩ සාමාන්‍ය තත්වෙට පත්වෙලා. ඒත් තවම ටික ටික හෙල්ලෙනව. ඒවත් අඩුවෙලා යයි කියල හිතනවා. සන්තෝසයි ඔයා මේ පැත්තෙ ආවට. ඔයත් හොඳින් කියල හිතනවා. චැට් එකට සෙට් වෙච්චි වෙලාවක කතාකරමුකො... ජය..!!!

    ReplyDelete