Tuesday, March 22, 2011

භූමිකම්පාවක්...එනවා...

(මෙහි මුල් කොටස පර්ෆෙක්ට් සිකුරාදාව...)














වෙලාව හවසතුනට ලංවෙලා තිබ්බෙ. සයිරන් එක කෑගහනකොට මං හිටියේ වොශ් රූම් එකේ. දත් මැදලා ඉවර උනා විතරයි.
ඒකෙ සද්දෙ නිකන් කාර් එලාම් එකක් වගේ. සයිරන් එකට පස්සෙ ගෑනු කටහඩකුත් ඇහෙනව.
"භූමිකම්පාවක්... එනවා භූමිකම්පාවක්... එනවා...." එය නොනවත්වා කියන්ඩ ගත්තා.
මට මේක අලුත්ම අත්දැකීමක් නෙවේ. මීට කලිනුත් එක පාරක් ඔය විදිහටම කෑගැහුව.ඒ දැනට මාස හයකට විතර කලින්. එදා මං හිටියෙ පළවෙනි තට්ටුවේ ජිම් එකට වෙලා, ජුලියා එක්ක. සද්දෙ ඇහුන ගමන් කෙල්ල මෙලෝ සිහියක් නැතුව දොරත් ඇරගෙන එළියට පැන්න. මාත් පස්සෙන් දිව්වා. ඔන්න එතකොටම තමයි හෙල්ලෙන්න ගත්තෙ. අපි බිල්ඩින් එකෙන් එළියටම දිව්වා. ටික වෙලාවකින් හෙලවෙන එක නතරවෙලා ඔක්කොම සන්සුන් වුනා.
"දෙයියනේ....පළවෙනිවතාවට මේ වගේ දෙයක් වුනේ..." ඇය හිනාවෙන්න හැදුව. ඒ එයා කැම්පස් එකට ආව දෙවනි දවස. ජපානෙට ඇවිල්ල සතියයි. මාව හම්බවෙච්ච පළවෙනි දවස. මාත් ඒ වෙලාවෙ බය වුනා. මෙහෙ අවුරුදු දෙකකට වැඩිය ඉඳල තිබ්බට ඒ වගේ දෙයක් අත්දකින්ඩ හම්බවුනෙ නෑ. මාස තුනකට සැරයක්වත් පොඩ්ඩක් හෙල්ලනව. හැබැයි කවදාවත් සයිරන් එක වදින්නෙ නෑ. සයිරන් එකක් තියනව කියලවත් මං දැනං හිටියෙ නෑ. කොහොම හරි එදා විනාඩි 15 කින් විතර ඔක්කොම සාමාන්‍ය අතට හැරුනා.
ඉතින් මෙදා සයිරන් එක ඇහෙද්දිම මං දැනගත්තා 'බඩු හරි' කියල. එදා හිටියෙ පළවෙනි තට්ටුවේ වුනාට අද ඉන්නෙ තුන්වෙනි තට්ටුවේ !!!
කරගන්න දෙයක් එක පාරටම කල්පනාකරගන්න බැරි වුනත් මගේ කකුල් මාව වොශ් රූම් එකෙන් එළියට අරන් ආවා. මම දැන් එදා කරපු විදිහටම එළියට දුවන්නයි ලෑස්ති. ඉන්න තැනේ හැටියට බේරෙන්න මං දන්න එකම ක්‍රමේ ඒක.
පඩිපෙළ තියෙන්නෙ කොරිඩෝවේ මැද. මම ඒ පැත්තට වේගෙන් අඩිය තියන්න පටන්ගත්තා. එක දිවිල්ලක්ම නෙවේ. වේගෙන් ඇවිදීමක්...
ඔන්න හෙල්ලෙන්න පටන් ගන්නවා.... !!!! හෙල්ලෙනවා.... !!!! හෙල්ලෙනවා....!!!!තුන් වෙනි තට්ටුව හින්දද මන්දා හෙල්ලෙන එක දරුණුවට දැනුනා. මම හෙල්ලි හෙල්ලි, වැනි වැනී, පඩි පෙළට ගියා. පහළට බහින ගොඩක් අය ඉඳීවි කියල හිතාගෙන ආවට කවුරුවත්ම හිටියෙ නැහැ.
"මුන්ට එළියට යන්න උවමනාවක් නැද්ද මන්දා...." මටම කියාගත්තා.
පඩි ටික බැහැගෙන ගියේ බැම්ම අල්ලගෙන. එතකොට තමයි දැක්කෙ පහළ තට්ටුවේ එහාට මෙහාට දඟලන මිනිස් රූප. උදේ හවස දකින අය තමයි. ඒත් ඒ වෙලාවෙ ඒ කවුද කියල වෙන වෙනම අඳුරගන්ඩ මට පුලුවන් වුනේ නැහැ. සමහරු හිටපු තැන්වලම නතරවෙලා. මෙන්න දැන් මම පළවෙනි තට්ටුවේ. ඒත් නතරවුනේ නැහැ. ඒ වේගෙන්ම බිත්තිය ගාවින් හැරිල ප්‍රධාන කොරිඩෝවට ආවා. දැන්නම් හොඳටම හෙල්ලෙනව. නතරවීමක් නෑ වගේ.
දිග කොරිඩෝවේ දොරවල් දෙකක් තියනවා එළියට යන්න. මම ඉන්න පැත්තෙ දොර තිබුනෙ මීටර් දහයක් විතර දුරින්. මම ඒ පැත්තට ඇවිදින්න ගත්තහම දැක්ක හරි මැද පොරක් හිටගෙන ඉන්නව. ඉද්ද ගැහුව වගේ. මම මූන දිහා බැලුවා. මොකක් වෙන්න යනවද කියල හිතාගන්න බැරි හැඟීමක් එක්ක එන බයක් ඒ මූනේ ලියවිලා තිබ්බ. ඊට අමතරම නිකන් ජොලියක් වගේ ගතියකුත් තිබ්බ. හෙල්ලෙන නිසා වෙන්න ඇති. කොහොමහරි අන්තිමටම ඔහුගෙ මූනෙන් එළියට පැන්නෙ ඒ ඔක්කොම එකතුවෙච්ච විහිලු පෙනුමක්.
පොර දැක්ක ගමන් මමත් ගමනෙ වේගේ අඩු කලා. පොරට හිනාවක් දැම්ම. "මං බොරුවට කලබලවෙලාද මන්දා, මේක තව ටිකකින් අඩුවෙලා යන්ඩත් පුලුවන්නෙ" ඒ වෙලාවෙ හිතුනෙ එහෙම.
ඒත් එක්කම කොරිඩෝවෙ අනිත් කොණට ලඟින් තියෙන දොරෙන් ෂිමිඩ් සෙන්සේ එළියට දුවනව දැක්ක. තවම හෙලවෙන එක අඩු වෙලා නෑ...
"දුවපන් එළියට, දුවපන් එළියට" මගේ හිත ආයෙත් කෑගහන්ඩ ගත්තා. මම අඩිය ඉක්මන්කරා. ඇරුනු දොරෙන් එලියට පැනගත්ත. බිල්ඩිමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගඩොල් අල්ලපු මිදුලට බැස්සා. තවම හෙල්ලෙන එකේ කිසිම අඩුවක් නෑ.... කොහොම උනත් එළියට පැනගත්ත නිසා බය සෑහෙන්ඩ අඩුවෙලා තියෙන්නෙ. ඒ හින්දා වටපිට බලන්න පොඩ්ඩක් පුලුවන් කමක් හම්බවුනා.
මේ දොරෙන් වැඩිය කවුරුවත් එලියට ඇවිත් නෑ වගේ. මා ලඟින් තව ජප්පෙක් ඉන්නවා. පොඩි එකෙක්. පොරගෙ අතේ බනිස්ගෙඩියක් !!! මෙන්න මූ ඒක කනවා. කකා හිනාවෙවී මා දිහාත් බලනවා. ඊට එහායින් බිල්ඩින් එකේ ඉඳන් පුස්තකාලෙ පැත්තට යන එලිමහන් කොරිඩෝවෙ අයිනට වෙලා තවත් එකෙක් ඉන්නව. පොර ඉන්නෙ පොඩ්ඩක් උඩ බලාගෙන, බිල්ඩින් එක වැටෙයිද නැද්ද කියල හිතනවද කොහෙද.
මම අනිත් පැත්තෙ දොරින් එළියට ආපු අය දිහා බැලුවා. එතන සෑහෙන්න සෙනගක් ඉන්නව. කාන්තා පාර්ශවයෙ කට්ටිය වැඩී. මම බැලුව මිහෝසං ඉන්නවද කියලා. අඳුරගන්න බැහැ. දුඹුරු හමක් තියන එකෙක් හරි ඉන්නවද බැලුව. පෙනෙන්ඩ නැහැ.... කට්ටියම අත් අල්ලගෙන බිල්ඩිමෙන් ඈතට යනව. ඒ වෙලාවෙ මටත් පොඩ්ඩක් උඩ බිත්තිය දිහා බැලුනා.
"කඩන් වැටෙයිද මේක?"
ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න වගේ හෙල්ලෙන එක අඩු වුනා.
"හ්ම්ම්ම්ම්...."
ඊට පස්සෙ සම්පූර්ණයෙන්ම නතරවුනා.
මම පොඩ්ඩක් ඇහැ කණ දාලා තවම හෙලවෙනවද කියල තව ටිකක් බලන් හිටිය.
"නෑ වගේ..." මං සැනසිලි සුසුමක් පිටකරල හිනාවෙලා මා ගාවින් හිටිය ජප්ප දිහා බැලුව. පොරත් හිනාවෙනව. සැනසිල්ලක ලකුණු ඒ මූනෙත් තියනව.
"දැන් ඉතින් නිදහසේ ඕක කාපන් පුතේ..." මං හිතින් කිව්ව.
එහා පැත්තෙ හිටිය අයත් නතරවෙලා බලන් ඉන්නව. මොකද වෙන්නෙ කියල.
හ්ම්ම්ම්..... ඔයින් ගියා ඇති. මං විඳපු ලොකුම හෙලවිල්ල.....!!!
තව ටික වෙලාවක් මෙහෙමම ඉන්න ඕනේ. ඒ විදිහට තවත් තත්පර කීපයක් ගෙවිලා ගියා...
(ඉතිරිය මතුවට...)



4 comments:

  1. ඉතිරියත් ඉක්මනටම ලියන්නකො.ලංකාවෙ අපිට නම් ඔය ඇත්දෑකීම නෑ.එක අතකින් ලංකාව පින්බිමක්.ගිනිකදු,භූමිකම්පා ඔව්ව මොනවත් මෙහෙ නෑනෙව.

    ReplyDelete
  2. ඒක නන් ඇත්ත බන් ල0කාවෙ විතරයි ඔය මුකුත්ම නැත්තෙ.....එක අතකට ල0කාව තමයි ලෝකයේ ජිවත්වෙන්න සුදුසුම රට

    ReplyDelete
  3. අම්මෝ හිතද්දිත් බයයි.

    ReplyDelete
  4. ස්තූතියි අදහස්වලට !!!

    නදී : සමාවෙන්න පරක්කු වුනාට. වැඩ අධිකයි. ඒකයි පරක්කුව. ඔන්න ලියල දැම්ම තව ටිකක්.

    ඇනෝ : ඔය ගැන ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්නව සහෝ...

    පිණිබිඳු : දැන් හිතද්දි නන් මටත් බයයි. ඒත් ඒ වෙලාවෙ ඒක එච්චරම දැනුනෙ නෑ...

    ReplyDelete