
මං අසූවෙ මුල පරපුරේ. යුද්ධය, නිදහස් වෙළඳපොල, ටෙස්ට් ක්‍රිකට්, කැසට්, ටීවී කියන්නෙ අපේ ජීවිතේම කොටස් වගේ. අපි බහ තෝරන කාලේ ලංකාවෙ මිනිස්සුත් ඔය දේවල්වල බහ තෝරමින් හිටියෙ කියල ඒ කාලෙ තේරුනේ නැති උනාට දැන් තේරෙනවා. ඔය මැජික් අස්සෙ තමයි අපි ලොකුවුනේ.
ටයි මාමගෙ හඬ සෙල්ලං වලින්, ජිප්සීස්ලගෙ ලුණු දෙහි වලින්, කුලසේන ෆොන්සේකගෙ වීර කතාවලින් අනූව දශකෙට ආවට පස්සෙ හදිසියෙ දකිනව අමීර් ඛාන් මධුරි ඩික්ෂිත්ගෙ අත අල්ලගෙන යනව. ස්කූල් බස් එකේ යනකොට හැමදාම මගදි දකින අහිංසක හුරුබුහුටි ගෑනු ළමයගෙ අතින් අල්ලගෙන යන්ඩ තිබ්බනන් කියල කොහොමත් හිතිලයි තිබ්බෙ ඒ වෙනකොට. එතනින් පස්සෙ ටීවි එකේ ඉන්නෙ අමීර් නෙවේ, චමිල. දුෂ්ටයෝ (ස්කූල් බස් එකේ අය්යල ) එක්ක සටන් කරල කොහොම හරි මං ඒ ගෑනු ළමයගෙ අත ගන්නවා. බැරි උනොත් දෙන්නම එකට දිවි නසාගන්නවා.
ඔන්න ඔය විදිහට තමයි රටේ නව හින්දි රැල්ල මගේ හීනෙට ගොඩවුනේ.
නොබැලුව හින්දි චිත්‍රපටියක් නැති තරම්. නම නොදන්න නලුවෙක් නිලියෙක් නැති තරම්. සමහරු කාමරේ බිත්තියෙ. එහෙම නැත්තන් පොත් කවරවල, කවකටු පෙට්ටිවල, ඇතුලෙ පිට, හැමතැනම. රේඩියෝ ටීවී වල හින්දි සින්දු යන වෙලාවට බහිරවය අරක්ගත්ත වගේ තමයි.
ඔය කාලේ මට ඇහෙනව එක හඬක්. ඒක අපේ අම්මල කැමති ලතා මංගේෂ්කර්ගෙත් අපි කැමති වෙලා හිටිය අනුරාධා පෞද්වාල්ගෙත් හඬට වඩා වෙනස් . මේ හස්කි හඬ ඊට වඩා වෙනස්ම තැනක තිබ්බෙ. සංගීතයත් නදීම් ශර්වාන්ගෙ තියා ආර්.ඩි බර්මන්ගෙ වගේවත් නෙමෙයි. පිටසක්වලින් ආපූ අපූරු සංගීතයක් වගේ මට ඒක දැනුනෙ. පස්සෙ මියුසික් ටෙලිවිශන් ආවට පස්සෙ මේක නිතරම ඒකේ පෙන්නන්ඩ ගත්තා. ලස්සන ලලනාවන්ගෙ වීඩියෝ එක්ක පෙන්නපු මේව හින්ද ඒ හඬ ටිකෙන් ටික මැකිලා පෙන්නන රූප ලොකු වෙන්ඩ ගත්තා. ඒත් ඒ සුමියුරු හඬට හැමදාම මගේ හිතේ ඉඩක් වෙන්වෙලා තිබ්බ කියල හිතෙනව. හැබැයි එහෙම හිතෙන්නෙ දැන් ආපහු හැරිල බලද්දි.
කොහොමහරි පස්සෙ ඒ හඬ ටීවී එකේ එහෙම ඇහෙන එක අඩුවෙලා යනවා. ඒ වෙනුවට වෙන නොයෙක් හඬවල් මතුවෙනව. සුනිදි චව්හාන්, ශ්‍රියා ගෝෂාල් වගේ අය.
ඒත් මීට අවුරුදු දෙකකට කලින් ආපහු ඒක මට හම්බවෙන්නෙ යූටියුබ් එකේදි. නමත් එක්ක. ඒකේ තිබ්බෙ නාසියා හසන්(Nazia Hassan) කියල. පස්සෙ මෙයාගෙ විස්තරයි අනෙක් සින්දුයි හොයන්ඩ ගත්තා. එතකොට තමයි තේරුනේ අපි වෙන කට්ටියගෙ කියල හිතාගෙන අහපු ගොඩක් සින්දු නාසියාගෙ කියලා.
නාසියා ඉපදෙන්නෙ 1965 දි පකිස්තානෙ කරච්චිවල ධනවත් ව්‍යාපාරික පවුලක. පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට ලැදී. දවසක් එංගලන්තෙ තිබ්බ සාදයකදි මෙයාට හම්බවෙනවා ෆෙරොස් ඛාන් කියන සිනමා අධ්‍යක්ෂකවරයා. ඔහුගෙ ඊලඟ චිත්රපටියෙ සින්දුවක් කියන්න මේ හිරිමල් නවයොවුන් කෙල්ලට ඔහු ආරාධනා කරනව. නාසියා ඒක පිළිගන්නව. මේ චිත්‍රපටිය තමයි 1980 හැදුන කුර්බානි(Qurbani). තවත් විශේෂ දෙයක් තමයි මේකෙ සංගීතය අධ්‍යක්ෂණය කරන්නෙ එංගලන්තෙ ඉඳන් වැඩ කරපු බිද්දු(Biddu) කියන සංගීතකරුවා. එයා තමයි හින්දි සිනමා සංගීතයට ඩිස්කො අරන් එන්නෙ(හින්දි ඩිස්කො කිව්වහම තවත් අමතක කරන්ඩ බැරි නමක් තමයි බාපි ලහිරි. ඩිස්කො ඩාන්සර් එකේ සංගීතය එයාගෙ. මේ දෙන්නම හින්දි ඩිස්කොවල පුරෝගාමියො ). ඉතින් මේක ඩිස්කො සංගීතය ඇසුරෙන් හැදෙන සින්දුවක්. "ආප් ජෙයිසා කොයි මෙරි" , මං අර කලින් කිව්ව මට මුලින්ම ඇහුන සින්දුවත් මේකම තමයි. පස්සෙ මේක වෙන වෙන රූපවලින් එක එක විදිහට වෙනස්වෙවී ආවට මං තවම කැමති ඔරිජිනල් එකට.
මේක සුපර් ඩුපර් හිට් එකක් වෙනව. ඒ විතරක්ද, 1981 ෆිල්ම් ෆෙයාර් එකේදි නාසියා හසන්ට හම්බවෙනව හොඳම පසුබිම් ගායිකාව සම්මානය. ඒ වෙද්දි එයාට අවුරුදු 16යි.
පස්සෙ 80 දශකයෙ ඉන්දීයාව අවට රටවල් වල නාසියා හසන් පොප් සංගීතයේ ප්‍රතිරූපය වෙන්නෙ ඒ හඬේ තියන හිත් ඇදගන්නා ගතිය හින්ද වෙන්ඩ ඇති. ඇත්තටම මෙයාගෙ හඬ විතරක් නෙවේ රූපයත් ලස්සනයි. පස්සෙ නාසියා එයාගෙ සහෝදරයත් එක්ක එකතුවෙලා ගායන යුවලක් විදිහට වැඩකරනව . ගොඩක් වෙලාවට මේ දෙන්නගෙ සින්දු පිටිපස්සෙ හිටියෙ බිද්දු. ඔහුගෙ සංගීතයෙනුත්, ඇගේ කටහඬිනුත් ඔප වැටිච්ච ඒ සින්දු ඒ යුගයට වඩා දශකයකින් දෙකකින් ඉස්සරහිනුයි තිබ්බෙ. අවුරුදු ගානකට පස්සෙත් තරුණ පරම්පරාව මේක අලුත් සංගීතයක්, අලුත් හඬක්, කියල වැළදගන්නෙ ඒ හින්ද වෙන්ඩ ඇති.
ඒ කොහොම උනත් නාසියා හසන්ගෙ හඬ හින්දි සිනමාවට අහිමිවෙනව. එහෙම නැත්තන් හින්දි සිනමාව විසින් ඒක බලෙන් අහිමි කරගන්නව. මං එහෙම කියන්ඩ හේතුව ඇයට ඉන්දියාව තුල ලැබුනු අවස්ථා බොහොම අඩුයි. අපි පොඩි කාලෙ ඒ කියන්නෙ 90 පටන්ගනිද්දි නාසියා හින්දි සංගීත ලෝකය දකින්ඩ හිටියෙ නෑ.
මේකට හේතු ගොඩක් තියනව. එකක් ඇය පකිස්ථානු කාන්තාවක්. ඉන්දියාවෙ වර්ගවාදය කියන එක සංගීත ලෝකෙ පවා ඒ විදිහටම තියනව(ලඟදි ජනප්‍රිය ගායකයෙක් වෙච්ච අබීජීත් හින්දි සිනමාවෙ ඉන්න පකිස්ථානු ගායකයන්ට ලොකු ටෝක් එකක් දීල තිබ්බ ). ඉන්දු-පකිස්ථානු ප්‍රශ්නෙ නාසියාටත් සෑහෙන්ඩ දැනුනා. ලංකාවෙ සෑහෙන්ඩ ජනප්‍රිය වෙච්ච "මේඩ් ඉන් ඉන්ඩියා" හදපු බිද්දු ඒක මුලින්ම ගායනා කරන්ඩ ආරාධනා කරල තියෙන්නෙ නාසියාට. ඒත් කොහොමද ඒක කියල ආපහු පකිස්ථානෙට යන්නෙ? ඒ හින්ද ඒක එයා බාරගත්තෙ නෑ. පස්සෙ තමයි ඒක අලීෂා කිව්වෙ.
නාසියා සංගීත ලෝකයෙන් අයින් වෙන්ඩ තවත් හේතුවක් වෙන්ඩ ඇති එයාගෙ රස්සාව හා විවාහය. එයා නීතීඥවරියක්. පස්සෙ ඇමරිකාවට ගිහින් එක්සත් ජාතින්ගෙ සංවිධානය එක්කත් වැඩ කලා. එයාගෙ විවාහයත් එච්චර සාර්ථකවුනේ නෑ කියල තමයි කියන්නෙ.
අනිත් බරපතලම හේතුව තමයි නාසියා හසන්ට 1993 දි විතර හැදෙන පෙනහලු පිළිකාව. ඒක නිසා එයාට ගොඩක් දේවල් අහිමි වෙනව. අන්තිමට අවුරුදු 35දි ඒ කියන්නෙ 2000 වසරෙදි ජීවිතෙන්ම සමුගන්ඩ සිද්ධවෙනවා. අවුරුදු 35ක් කියන්නෙ ගායන ලෝකෙදි නම් භද්‍ර යෞවනය.
ඒ විදිහටයි නාසියාගේ කටහඬ හින්දි සිනමාවටත්, ඒ ඔස්සේ අපිටත් අහිමිවෙන්නෙ.
එයා කියපු සින්දුවල වචන මට තේරුනේ නෑ. ඒත් ඒ හඬෙන් මට දැනුනෙ ඒ කාලෙ අපේ වටේ තිබ්බ ලෝකෙට වඩා වෙනස් ලෝකයක් ගැන හීනයක්. පස්සෙ ගොඩක් දෙනෙක් ඒ වගේ හීන දුන්නට ඒක මුලින්ම මට දුන්නෙ නාසියා හසන්.
ඒ වෙනුවෙන් එයාට උපහාරයක් විදිහටයි මේ සටහන ලිව්වෙ. මේ තියෙන්නෙ එයා ගයපු මං කැමතිම සින්දුව.