Saturday, November 12, 2011

ජානේ තූ... යා ජානේ නා















මේක ගැන කොහොම ලියනවද කියල හිතාගන්ඩ බැරුව සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා. තවම ඒ හැටි පැහැදිලි විදිහක් කල්පනා වෙන්නෙ නෑ. ඒකට පිළියම මොනවහරි ලියන එක කියල අන්තිමටම හිතල ඔන්න වැඩේට බැස්සා.
මේ වැඩේ මෙච්චර අමාරු වෙන්නෙ මේ ෆිල්ම් එකෙන් හම්බවෙච්ච රසය වචන වලට පෙරලන්ඩ අමාරු හින්දා වෙන්ඩ ඇති.

ජානේ තූ යා ජානේ නා කියන්නෙ පාට පාට කැලෑ මල් මාලයක් වගේ. එක එක වර්ගෙ මල්. සමහර ඒවා ලස්සනයි. එච්චර ලස්සන නැති ඒවත් තියනව. වල් පැළ, කොළ එහෙමත් අතරින් පතර සෙට් කරල. ඒත් වැදගත්ම දේ තමයි ඒ හැම දෙයක්ම හරිම සූක්ෂම විදිහට එකට එකක් ගැලපෙන විදිහට අමුනල තියන විදිහ.
මේකෙ කතාව හරිම සරල, බොහොමයක් හින්දි චිත්‍රපටිවල තියන වට්ටෝරු කතාවක්. හනිමූන් එකට පිටරට ගියපු කුරුලු ජෝඩුවක් ආපහු එද්දි ඒ දෙන්නව පිළිගන්ඩ යාලුවො සෙට් එක එනව ගුවන් තොටුපොලට. ඒ අය අතරෙ ඉන්නව අලුත් යාලුවෙක් මේ දෙන්න ගැන කිසිම දෙයක් නොදන්න. අහස් යානෙ එනකල් වෙන කරන්ඩ දෙයක් නැති හින්ද ඒ අලුත් යාලුවට අනිත් කට්ටිය අර දෙන්නගෙ ආදර කතාව කියනව. ඕක තමයි ෆිල්ම් එක. සරලයි. 'මහප්‍රාණ' නෑ...
වැදගත් දේ තමයි මේ කතාව අහන යාලුව, චිත්‍රපටිය නරඹන්නො වන අපත් එක්ක එකට පුටුවල වාඩි කරල තමයි වැඩේ පටන් ගන්නෙ. අනික කතාව කියන්ඩ පටන්ගන්න විදිහ.

"ඔහොම නෙවෙයි ඔය කතාව කියන්ඩ ඕනෙ, මෙන්න මෙහෙමයි"

එතන ඉඳන් කතාවෙ හැම කොටසක්ම ගානට සෙට් වෙනවා. හින්දි ෆිල්ම් එකක දැකපු හොඳම තිරරචනයක් අප ඉස්සරහ දිගහැරෙනව. කලින් කිව්ව වගේ මල් ගොඩක් නියමෙට තිතට ඇමිනෙනවා.
එක ඉන්ටර්විව් එකකදි මේ ෆිල්ම් එක හදපු අබ්බාස් තයිරවාලා කියනව ඔහුට අවශ්‍යය වුනේ කතාවක් කියන්ඩ කියල. එයා ඒක නියමෙටම කරනවා.


ඒ විතරක් නෙවෙයි, එයා තිතට අමුණපු ඒ මල් මාලේ එක මලක්වත් අඩුමගානෙ කොළයක්වත් මැරෙන්ඩ දෙන්නෙ නැතුව නැවුම් විදිහට බලන් ඉන්න අපේ කර වටේට දානවා.

හැම සීන් එකක්ම ජීවයෙන් පිරිලා. පලපුරුද්දක් නැති අලුත් නලු නිලි සෙට් එකක් අරගෙන(ප්‍රවීන අයත් අතරින් පතර ඉන්නව )ඒ අය හුළඟක් වගේ කැමරාව ඉස්සරහ නිදහස් කරනවා. සමහරු වැඩේ අනනවා. සමහරු ගොඩ දාගන්නව. ඒත් ඔක්කොම කඩාගෙන මුලු ෆිල්ම් එකම අපේ ගැටවර හීනයට කතාකරනවා.



















ෆිල්ම් එකට ජීවය පිඹින තවත් මැජික් කරුවෙක් ඉන්නවා පැත්තකින්. ඒ තමයි ඒ. ආර් රහුමාන්. මෙතනදි මං කියන්නෙ සින්දු ගැන නෙවෙයි පසුබිම් සංගීතය ගැන. ෆිල්ම් එක පුරාම අපේ මූඩ් සෙට් කරන්නෙ රහුමාන්. ඒත් ෆිල්ම් ෆෙයාර් සම්මානය හම්බවෙන්නෙ මේකෙ සින්දු මූලික කරගත්ත සංගීත අධ්‍යක්ෂණයට මිසක් පසුබිම් සංගීතය වෙනුවෙන් නෙවෙයි. මොනව උනත් ලොකු විචාරකයො කියල කියන කට්ටිය බනිද්දිත් මේ වගේ ෆිල්ම් එකක වැඩ කරන්ඩ රහුමාන් බාරගත්ත එක එයා ගත්ත හොඳම තීරණයක් කියන එකනන් නොකිය බැහැ.




ඇත්තටම ජානේ තූ යා ජානේ නා කියන්නෙ හින්දි සිනමාවේ මහ දැවැන්ත නිර්මාණ කියල පිළිගන්න ඒවට සැහෙන්ඩ උඩින් තියන ෆිල්ම් එකක්. ලඟදි බැලුවා හැමෝම හොඳයි කියල පොළොවෙ පස් කන්ඩ හදන සින්දගී නා මිලෙගි දොබාරා. අයිසින් නන් ගොඩාක් තිබ්බා. ඒත් චිත්‍රපටිය අපෙන් ගොඩාක් දුරයි. ජානේ තූ යා ජානේ නා ඉන්න සුන්දර සරල තැනට යන්ඩ බැරුව දුක් විඳින ෆිල්ම් එකක්තමයි අන්තිමටම බලන්ඩ හම්බ වුනේ. කන්සෙප්ට් එක මාරයි. ඒත් ඒක කතාවකට ගොනු වෙලා ස්ක්‍රිප්ට් එකට එද්දි වටේට ගොඩක් දේවල් සෙට් වෙලා. ඒත් මැද හිස්. ඇල්කොහොල් නැති බියර් වගේ. මේක ගොඩක් හින්දි චිත්‍රපටි වල මං දැකපු දෙයක්.

ඉන්දියාවෙන් පොඩ්ඩක් ලංකාවටත් ආවොත් ඇයි මෙහෙ ඉන්න කට්ටියට ෆිල්ම් එකකින් කතාවක් කියන්ඩ බැරි? ලොකු ලොකු දේවල් කරන්ඩ හදනවට වඩා ජනතාවගේ සිනමාවක් හදන්ඩ ඕනෙ නම් ඒ සරල තැනට යන්ඩ වෙනව. මිනිස්සුන්ට චරිත හුස්ම ගන්නව දැනෙන චිත්‍රපටි හැදෙනකම් ලංකාවෙ සිනමාවට අනාගතයක් නෑ. සමහරු සල්ලි වැඩි වෙලාද මන්දා මාර සෙට් දාලා, නලු නිලි හැට හුට හමාරක් අරගෙන, මහා දැවැන්ත එව්ව (චිත්‍රපටි?) කරනවා. බල්ලො බත් කන්නෙ නෑ. ඒත් ජානේ තූ යා ජානේ නා බලද්දි මගේ බෙල්ලෙ එතුනු ඒ මල් වැලේ සුවඳ මට තවම දැනෙනව.




මේ කොච්චර කිව්වත් මං මේකට කැමති ඇයි කියල තවම හරියට කියාගන්ඩ බැරි උනා කියලයි හිතෙන්නෙ. ලංකාවෙ මගේ චිත්‍රපටි සඟයා මේක ගැන කිව්ව කතාව මේ වගේ.

"මචං, අපි හැමෝගෙම හීනයක් තියනවනෙ බන්. මේකෙ තියෙන්නෙ ඒ හීනේ"

ඇත්ත වෙන්ඩ ඇති. ඒත් මං තවම කල්පනා කරනවා...









16 comments:

  1. කතාව සහතික ඇත්ත.........මං පහක් දානව උඹත් එක්ක

    ReplyDelete
  2. මාත් ආපු දවස්වලම බැලුවා. පට්ට ෆිල්ම් එක. කට ඇරලා ලස්සනයි කියන්න පුළුවන්. බලපු නැති අය ඉන්නවනම් මෙන්න ලින්ක් එක. බැලුවේ නැත්නම් බාගෙන බලන්න.

    ReplyDelete
  3. ජානේ තූ යා ජානේ නා කියන්නේ මගෙත් කැමතිම හින්දි ෆිල්ම් එකක්. උඹ කිව්ව වගේ එකේ මහප්‍රාණ නැහැ. වට්ටෝරු හින්දි ෆිල්ම් එකක තියෙන සියළුම ලක්ෂණ එකේ තියෙනවා. ඒත් ෆිල්ම් එක පට්ට ලස්සනයි. ඔරිජිනල්.

    හැබැයි මචන් ඒක අහම්බයක් නෙමෙයි. ෆිල්ම් එක ප්‍රඩියුස් කරන්නේ අමීර් කාන්, ප්‍රධාන චරිතය රඟපාන්නේ ඉම්රාන් කාන් හෙවත් අමීර් කාන්ගේ බෑනා හෙවත් අක්කගේ පුතා. මේ ෆිල්ම් එකෙන් තමයි ඉම්රාන්ව හින්දි සිනමාවට හදුන්වා දෙන්නේ.

    ඉම්රාන් සුපිරි නළුවෙක් වීමට මුල් ෆිල්ම් එක බලපානවා. හරියට අමීර් කාන්ගේ පළමුවෙනි ෆිල්ම් එක [ක්‍යාමත්සේ ක්‍යාමස්තක්, ඒකත් සුපර් හිට් මුවී එකක්] වගේම. ඒක නිසයි මිනිස්සු අතරට යන්න පුළුවන් සරල කතාවක් එක්ක හින්දි ෆිල්ම් එකක නියමිත වට්ටෝරුව දාලා ඊට අමතරව අර රාටෝර් පරපුර විසින් ඉටු කළ යුතු දේවල් තුනක් ගැන කියවෙන අත්භූත රසය සහ කුතුහලය එකතු කරලා මේ ෆිල්ම් එක හැදෙන්නේ.
    අමීර් කාන් ගන්නේ කැල්කියුලේටෙඩ් රිස්ක් එකක්. ඒක හරියනවා, ජානේ තු යා ජානේ නා කියන්නේ සුපර් හිට් එකක්.

    උබ, "සින්දගී නාමිලේ දොබාරා" ගැන කියපු කතාවනම් සහතික ඇත්ත. ඒක "Hang Overර්" සහ තවත් ඉන්ග්ලිශ් ෆිල්ම්ස් කෑලි කපලා දාලා හදපු කොත්තු රොටියක්. මටනම් පට්ට චාටර්.

    අමීර් කාන්ගේ නෝනා කිරන් රාඕ කරපු "ඩොබී ගාරත්" බලලා තියෙනවද?

    ReplyDelete
  4. @මාලන්
    ආමීර් ඛාන් ගැන ලිව්වෙ නැත්තෙ පෝස්ට් එක දිග වැඩිවෙන හින්දා. උඹ කිව්ව වගේ අවදානම ගන්ඩ බය නැති ප්‍රොඩියුසර් කෙනෙක්. පීප්ලි ලයිව් කියන චිත්‍රපටියත් ඒ වගේ එකක්. ජීවිතේට ෆිල්ම් එකක් හදල නැති ගෑනු ළමයෙක්(ජර්නලිස්ට් කෙනෙක්) ගිහින් ආමීර් ඛාන්ගෙන් ඉල්ලනව ෆිල්ම් එකක් කරන්ඩ චාන්ස් එකක් දෙන්ඩ කියල. ස්ක්‍රිප්ට් එක කියවල බලද්දි මේක එයාට අල්ලල යනව. එහෙම හැදෙන ෆිල්ම් එක තමයි පීප්ලි ලයිව් කියන්නෙ. බොලිවුඩ් මේන් ස්ට්‍රීම් එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් තැනක තියන ෆිල්ම් එකක්.
    මට යාලුවෙක් "ඩොබී ගාරත්" එකේ ලින්ක් එක එව්ව. ඒත් තවම බලන්ඩ බැරිඋනා.

    ReplyDelete
  5. ඇනෝලා :
    ස්තූතියි මේ පැත්තෙ ඇවිත් අදහස කොටල ගියාට.

    ReplyDelete
  6. Peepli(Live)

    http://www.imdb.com/title/tt1447508/

    http://www.youtube.com/watch?v=cOYGITKbINo

    ReplyDelete
  7. "ජානේ තූ යා ජානේ නා" ගැන උඹේ යාළුවා කියපු කතාව ඇත්ත. මේකේ ඉම්රාන් කාන් රඟපාන්නේ, අමීර් කාන් දිල් එකේ රඟ පෑවා වගේ සීනි බෝල වීරයගේ චරිතය නෙමෙයි.

    ඌත් අපි වගේම සාමාන්‍ය පොරක්. ඒත් ඌ උගේ ශරීර ප්‍රමාණයට වඩා දෙයක් කරලා අන්තිමේ උගේ සටන ජය ගන්නවා. සමහර විට ඒක වෙන්න පුළුවන් මචන් මේ ෆිල්ම් එක මෙච්චර දැනුනේ.

    "මචං, අපි හැමෝගෙම හීනයක් තියනවනෙ බන්. මේකෙ තියෙන්නෙ ඒ හීනේ"
    ඇත්ත තමයි.

    අමිර් කාන් කියන්නේ උබ කිව්වා වගේ බය නැති ප්‍රඩියුසර් කෙනෙක් තමයි. පොර ඩෝබි ගරත් එකේ සිරා චරිතයක් කරනවා.
    ඩෝබි ගාරත් බලපන් [බලලා හිතෙන දේ කියපන්]. ඒක හඳුවන්නේ, මුම්බයි ඩයරීස් කියලා. මියුසික් සෙන්තිනොල්ලා, මෝටර් සයිකල් ඩයරීස් ෆිල්ම් එකේ මියුසික් කරපු පොර.

    පිප්ලි ලයිව් මම බලලා නැහැ. ඒත් ඒක කොපියක් කියලත් කියනවා මචන්. පොඩ්ඩක් ගූග්ල් කරලා බලපන්.

    ReplyDelete
  8. පීප්ලි ලයිව් නම් බලපු හොඳම හින්දි ෆිල්ම් එකක්. මේකත් බාගන්න පුළුවන් වුණා. මුම්බායි ඩයරීස් හොයාගන්නත් පුළුවන්. රෙකමන්ඩේෂන් නැතිව හින්දි චිත්‍රපටියක් බලන්න තියෙන අකමැත්ත නිසාම මේ වගේ සංවාද සෑහෙන්න හොඳයි අළුත් ඒව හොයාගන්න...

    ReplyDelete
  9. @මාලන්
    ඔව් ඇත්ත මචන්. දිල් එකේ වීරයාට දැන් මාකට් එකක් නෑ. දැන් කට්ටිය කැමති අපිත් එක්ක එකට හිටගෙන ඉන්න වීරයෙක්ව දකින්ඩ. (ඒත් අනූව දශකෙ චිත්‍රපටි වලට මං කැමතියි මචන්. ඒවත් එක්ක තමයි අපි ලොකුවුනේ....)
    ඇයි බන් තව හීනයක් තියෙන්නෙ එකිනෙකා වෙනුවෙන්ම මවපු ජෝඩු ගැන. ඒ අපේ හීනෙක ඉන්න දෙන්න මේ ෆිල්ම් එකේදි අපිට හම්බවෙනව. කට්ටිය පිටින් කොච්චර පොරවල් උනත් ඇතුලෙන් ඒකට කැමතියි.
    පීප්ලි ලයිව් එක Invitation to a Suicide කියන ෆිල්ම් එකෙන් ආභාශය අරන් හදපු එකක් කියල කියනවා. මං ඒක බලල නෑ. ඒත් මට හිතෙන්නෙ පීප්ලි ලයිව් කියන්නෙ ඉන්දියාවෙ පොළොවෙ හැදිච්ච ඔරිජිනල් නිර්මාණයක්.
    ඒ ෆිල්ම්ස් දෙක පෙනුමෙන් සෑහෙන්ඩ වෙනස් මචන්..
    අනික බලන්නෙ නැතුව හරියටම කියන්ඩ බෑ.

    ReplyDelete
  10. @hare :-)
    රෙකමන්ඩ් කරන්ඩ පුලුවන් හින්දි ෆිල්ම්ස් කීපයක් :

    මුම්බායි මෙරි ජාන්
    http://www.imdb.com/title/tt1266583/

    Udaan
    http://www.imdb.com/title/tt1639426/

    Road, Movie
    http://www.imdb.com/title/tt1190894/

    ReplyDelete
  11. මේ ෆිල්ම් එකට නම් මාත් කැමතියි. සේරටම වඩා ආස සින්දු ටිකට. කබි කබී අදිතී සින්දගී මෙ යුහී කොයි අප්නා ලග්තා හේ.. හයියෝ.. පට්ට..

    ReplyDelete
  12. @පිණිබිඳු...
    රහුමාන් මේ ෆිල්ම් එකේ සින්දුවල අමුතු අමුතු වැඩ ගොඩක් කරනවා. පප්පු ඩාන්ස් සින්දුව එහෙම එන්නෙ එහෙමයි. ඒ සින්දුව කරන්ඩ රහුමාන් එක්ක එකතුවෙන බෙනී දයාල්ට වසරේ තරුණ සංගීතකරුවා වෙනුවෙන් දෙන ආර්. ඩී. බර්මන් සම්මානය හම්බවෙනව ෆිල්ම් ෆෙයාර් එකේදි.
    කබි කබී ආදති සින්දුව සුපර් හිට් එකක්. ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

    ReplyDelete
  13. චමිල - චිත්‍රපටි ගැන දුන්න ඔත්තුවට තැංකිව් වේවා...

    ReplyDelete
  14. ඔච්චර වනන එකේ මාත් ඔන්න ෆිල්ම් එකේ blue ray කොපියක්ම බාගත්තා. තෑන්ක්ස් දැනුවත් කළාට.

    ReplyDelete
  15. බලල බනින්ඩ එහෙම එපා.

    ReplyDelete
  16. ඒක නෙවෙයි උඹල ලියන ඒවා කෙලින්ම මේල් එකට ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද ? පුළුවන් නම් දැනුවත් කරපන්. ඒ වගේම මේ ජාතියේ ලිපි ටිකක් ඉස්සරහටත් ලියපන්. මොකද මේ වගේ ලිපි හුඟක් හිඟයි.

    ReplyDelete