Monday, December 26, 2011

මේ මගේ සඳයි - ප්‍රවේශය

මුදාවෙන් පැනල එන සොල්දාදුවෙක් පිටුපසින් සිංහල ගමකට ඉතිහාසයක් නැති තරුණියක් එනවා. 

යුද්ධය තදින් ඇවිලීගිය පරිසරයක පිහිටි හමුදා බංකරයකට ජීවිතාරක්ෂාව පතා පැන්නක වීමත්, නළලේ පොට්ටුවක් තිබීමත් නිසා සැකයක් නැතිවම ඈ දෙමල. 

ඉතිහාසයක් නැති දෙමලියක්.....!

ඇගේ නම මොකද්ද? ඇය එල්ටීටීඊ සෙබලියක්ද? ඇගේ දෙමාපියන් ඉන්නවද? යුද පුහුණූව ලැබූවෙක්ද? පෙම්වතෙක් ඉන්නවද? රාජ්‍ය භාෂා පණත මගින් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවද? දෙමල වීම නිසාම ඇතිවූ විශේෂ ප්‍රශ්න තියෙනවද? 13 වෙනි ව්‍යවස්ථෘ සංශෝධනය......???
______________________________________________
පෞද්ගලිකව නම් මම කැමතිම සිංහල චිත්‍රපට මොනවද කියල කවුරුහරි ඇහුවොත් එච්චර ලොකු ලැයිස්තුවක් නම් නැහැ. එකට තියෙන්නෙ 'හංස විලක්'. ඊළඟට 'මේ මගේ සඳයි'. තව කිහිපයක් තියෙනවා.

'මේ මගේ සඳයි' චිත්‍රපටය ප්‍රදර්ශනය වුනේ සම්මත සිනමා ප්‍රදර්ශන රටාව අනුව නෙමේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන වැඩපිළිවෙලට විරෝධය දැක්වීමක් වශයෙන් හඳගම මෙම සිනමා පටය චිත්‍රපට ප්‍රදර්ශන මණ්ඩලයකට භාරදීම ප්‍රතික්ෂේප කලා. ඔහුගේ චෝදනාව වුනේ උසස් සිනමා කෘති ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් ප්‍රේක්ෂක ආකර්ශනයක් තිබියදීම උනත්, බොහෝ සිනමාහල් හිමියන් ප්‍රේක්ෂකයන් නොඑන බව පවසා දින කිහිපයක් ඇතුලත ඒවා ගලවා දමන බව. මෙයට හේතුව ලෙස ඔහු දැක්වූයේ එම වකවානුව (2000) වන විට ප්‍රේක්ෂකයන් පිරී ඉතිරී යමින් තිබූ අවර ගණයේ බටහිර වැඩිහිටි චිත්‍රපට ප්‍රදර්ශනය කොට වැඩි ලාභයක් ලැබීමට සිනමාශාලා හිමිකරුවන් පෙළඹීම සහ චිත්‍රපට සංස්ථාව ඒ වෙනුවෙන් කිසිදු මැදිහත්වීමක් නොකිරීම.
 කොහොම උනත් හඳගමගේ කැරැල්ල කවදත් වගේ හුදකලා කැරැල්ලක් බවටම පත්වුනා කියලයි මට හිතෙන්නෙ. චිත්‍රපටය ප්‍රදර්ශනය වුනේ හඳගමගේ හිතවතුන්, රසිකයන් සහ උසස් සිනමාවට ලැදි පිරිස් විසින් දිවයිනේ තැන් තැන්වල දර්ශන සංවිධානය කිරීම මගින්. මෙමගින් වුනේ බහුතර ප්‍රේක්ෂක පිරිසකට මේ චිත්‍රපටය නරඹන්නට නොහැකිවීම.

ඒ වගේම පැවති යුද-දේශපාලනික වාතාවරණය තුල මේ චිත්‍රපටයට එල්ලවූ විරෝධයත් සුළුපටු නැහැ. නමුත් ඒවගේම ජාත්‍යන්තරව මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අවස්ථාවලදී දෙමල ජාතිවාදීන් මෙය ඔවුනගේ අදහස් තහවුරු කිරීමට යොදාගැනීමට උත්සාහ කිරීමකුත් දක්නට ලැබුනා. එය ඉතා කණගාටුදායක තත්වයක්.

මෙම චිත්‍රපටයේ විශේෂතා කිහිපයකුත් තිබෙනවා. එකක් තමයි මෙය ඩිරෙක්ට් සවුන්ඩ්  ක්‍රමයට නිෂ්පාදනය වීම. එනම් නැවත ශබ්දාගාරයකදී හඬ කැවීමකින් තොරව රූගත කරන අවස්ථාවේදීම හඬ පටිගත කිරීම. ඒ වගේම මෙහි තිබෙන්නේ මුළුමනින්ම නිශ්චල රූප රාමු. කැමරාව චලනය කිරීම හෝ දර්ශනය සූම් කිරීම් වගේ තාක්ෂණික හරඹ ඇත්තෙම නැහැ. මේ ගැන හඳගම කිව්වෙ අපූරු කතාවක්. ඔහු කිව්වෙ මේ චිත්‍රපටයට භාවිත කලේ විහාර බිතු සිතුවම් සම්ප්‍රදාය බව. විහාර සිතුවම් වල බෞද්ධ සාහිත්‍යයේ යම් කතාවක් පිළීවෙලින් එක් එක් රාමු තුල ඇඳ ඇති ආකාරයටම, මෙම චිත්‍රපටයේද නිශ්චල රාමු තුල විවිධ සිදුවීම් පෙලගස්වා තිබෙනවා.  මෙය මටනම් ඉතා සුන්දර අත්දැකීමක්.
 අනික මේ චිත්‍රපටයේ අවකාශය මිසක කාලය තැකීමක් කරන්නෙත් නැහැ. විහාර බිතුසිතුවමක එක් රූප රාමුවක් තියෙන්නෙ ජූජක බමුණා දරුවන් ඉල්ලීම. ඊළඟ රූප රාමුව වද දෙමින් දරුවන් රැගෙන යාම. මේ චිත්‍රපටයේ රූප රාමුත් මේ වගේමයි. එකක කියනවා 'ගිහින් බයිසිකලේට නැගපං' කියලා. ඒ ක්ෂණයකින් ඊළඟ රූපරාමුව බයිසිකලයට නැගල ඉන්න එකක්. ටිකක් කල්පනාවෙන් බලං ඉද්දි මේක හරි අපූරු වැඩක් වගේ දැනෙනවා :). අනික ෆිල්ම් එකේ දර්ශන කිහිපයක් ඇරෙන්න ඉතිරි සියල්ලම රූගත කරල තියෙන්නෙ Daylite.

මේක ලෝ බජට් කරපු ෆිල්ම් එකක්. ඒ කාරණෙත් එක්ක බලද්දි නම් මේ වෑයම විශිෂ්ටයි. අර කියපු විශේෂතා වලටත් ඒක හේතුවක් වුනා කියලයි හඳගම කිව්වෙ. මේ ඔහුගේ වචන

" නමුත් අද සිනමාව කරන්න වෙලා තියෙන්නේ සම්බාධක ඇතුළේ. එහෙම සිනමාව කරනකොට අපිව රකින්න ප්රාග්ධනයක්නැහැ. ප්රාග්ධනය හැම වෙලේම ලාභය ඉල්ලා සිටිනවා. ලාභය ඉල්ලා නොසිටින ප්රාග්ධනයන් නැහැ. එතකොට අපට සිද්ධ වෙනවා සීමාකාරී තත්ත්වයන් යටතේ සිනමාව කරන්න. උදාහරණයක්විදිහට මගේ "මේ මගේ සඳයි" කරනකොට මට තිබුණු සීමාවන් තමයි සල්ලි. ට්රැක්ඩොලි, ලොකු ලයිට්අරන් යන්න සල්ලි මට තිබුණේ නැහැ. නිසා මම පිටපත ලියන්නෙම Daylite එකට. එතකොට එකෙ track movement මොකක්වත් නැහැ.  ඒ මොකක්වත් නැති සරල චිත්රපට ආඛ්යානයක්මම හොයා ගන්නවා."

කොහොම වුනත් මීට අවුරුදු 11 කට කලින් මේ චිත්‍රපටය බලපු තැන නෙමෙයි මම අද ඉන්නෙ. විවිධ තාක්ෂණික අඩුපාඩු වගේම දෘෂ්ටිමය නොඑකඟතා ගොඩක් තියෙනවා. කොහොම උනත් මම මේ චිත්‍රපටයට එදාතරම්ම ආදරෙයි. ඒකට හේතුව විශේෂයි. ඒ වකවානුවේ මා වටේ පුපුරා හැලෙන ජීවිත/දේපල මෙන්ම ආන්ඩුවේ සහ පත්තර මුදලාලිලාගේ බොරු වලින් පමණක් යුද්ධය තේරුම් ගනිමින් සිටි මට, පළමුවරට දුරස්ථ රූපයක සිට යුද්ධය කියන විකාරය පෙන්වූයේ මේ චිත්‍රපටය නිසා. පුපුරා හැලෙන්නේ මා අවට දේවල් පමණක් නොවන බව ඒත්තු ගැන්වූයේ මේ චිත්‍රපටය නිසා......
 'මේ මගේ සඳයි' චිත්‍රපටය ජාත්‍යන්තරව සම්මානයට පාත්‍ර වූවා. 
මෙයින් පළමු සම්මානය හිමි වූයේ 2001 ඇමෙරිකාවේ 43 වැනි හූස්ටන් අන්තර් ජාතික චිත්රපට උළෙලේ බ්රොන්ස්රෙමි සම්මානයයි. මෙම චිත්රපටයට තවත් සම්මාන තුනක් එම වසරේම එකම මාසයකදී (මැයි) හිමිවීම විශේෂත්වයක්. කොරියාවේ දෙවැනි ජොන්ජු අන්තර් ජාතික චිත්රපට උළෙලේ හොඳම ආසියානු ස්වාධීන චිත්රපටය සඳහා වන සම්මානය හා 14 වැනි සිංගප්පූරු අන්තර් ජාතික චිත්රපට උළෙලේ හොඳම චිත්රපටය සඳහා පිරිනැමෙන තරුණ සිනමා සම්මානය හා නෙට්පැක් හා ෆිප්රෙස්කි යන සංවිධාන දෙක ඒකාබද්ධව පිරිනමන විශේෂ සඳහනයි.එසේම මෙම චිත්රපටය 2001 ඉන්දියාවේ පැවති දිල්ලි ජාත්යන්තර චිත්රපට උළෙලේ දී සිනේෆෑන් සම්මානයද, 4 වැනි බැංකොක් අන්තර් ජාතික චිත්රපට උළෙලේ විශේෂ ජූරි සම්මානය දිනා ගත්තා. එමෙන්ම 2001 ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේදීත් Asian Film Award - Special Mention සම්මානයටද පාත්‍රවූවා.
 
චිත්‍රපටය ගැන මට හිතෙන දේවල් කොටස් කීපයකින් ඉදිරියට ලියන්න හිතං ඉන්නවා. තව චමිල සහ මාලනුත් ලියනව කිව්වා. අවුටාටත් ලියන ලෙස දන්වා මරණ තර්ජන මේ වනවිටත් යවා ඇති බව සැළයි.  මෙය කියවන සහෝදර ඔබටත් ආරාධනය කරනවා මේ සංවාද අවකාශයට එකතුවන්නට. දහසක් මත ගැටී දහසක් මල් පිපීම උදෙසා........... 

'මේ මගේ සඳයි' බලන්න........

___________________________________________________

ප/ලි -
1. මේ චිත්‍රපටයේ නාමාවලිය ආරම්භයේදීම අපේ විමල් වීරවංශ මහත්තයටත් හඳයා තැන්කූ පාරක් දීලා. ඒ අහවල් කාරියක් හින්දද කියල අහගන්ඩ හඳයව කන්ටැක්ට් කරගන්න ට්‍රයි එකක් දුන්නත් බැරිවුනා. අනිවා පස්සෙ අහල දාන්නං.

2. මේ ගොඩක් දේවල් ලිව්වෙ මතක විදිහට. මේ තොරතුරුවල යම් වරදක් තියෙනවනම්  කරුණාකරල නිවැරදි කරන්න
3. මේවා ලියන මම/මාලන්/චමිල/අවුටා ඇතුළු අහිංසක මනුශ්‍ය ප්‍රාණින් පිරිස සිනමාව ගැන ක්‍රමවත් හැදෑරීමක් කල හෝ සිනමා විචාරකයින් හෝ නොවන සාමාන්‍ය සිනමා රසිකයන් පමණක් බවද ප්‍රකාශයට පත්කොට සිටිමු.

6 comments:

  1. ඒ දවස්වල මට මේක තේරුණේ යන්තමින්. ඇම්මට බැලුව මිසක් කතාකරල අදහසක් ගන්න එකෙක්වත් හිටියෙ නෑ... ආයෙත් බලන්න ට්‍රයි එකක් දෙමු!

    ReplyDelete
  2. සිනමාව ගැන මේ වගේ සංවාදයකට මුල පිරීම අතිශය වැදගත් දෙයක්. ඒ ගැන මුලින්ම ස්තූතිවන්ත වෙන්න කැමතියි.
    අවුරුදු කීපයකට කලින් මාත් මේක බැලුවා. ඒකෙ තිබුණ වෙනස් ගතිය ඇත්තටම මගෙත් හිත් ගත්තා. චරිත වගේම කතාවත් යම් යම් අවස්ථාවන්වල දි මට දැනුනේ අභූත රූපී ශෛලියකින් ඉදිරිපත් වෙන බවයි. තවත් විදිහකට කිව්වොත් යථාර්ථයට කො‍ටු නොවන ගතියක්. ඒ හින්දම සරල කතන්දරයක් හොයන කෙනෙකුට මේකෙන් ඒ දේ හොයා ගන්න බැරි බවයි මගේ පෞද්ගලික විශ්වාසය.

    ReplyDelete
  3. කලින් වතාවේ කීප වතාවකට බලලා ඉවර කරන්න ලැබුනේ.නිවිහැනහිල්ලේ ආයෙත් පාරක් බලලාම කොමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  4. සිනමාව ලිළිබඳව කාලීන සංවාදයකට මංහසර විවර කිරීම පිලිබද සතුටුයි. සිනමාව මගේත් එක ප්‍රියතම විෂයක්.

    ReplyDelete
  5. 3. මේවා ලියන මම/මාලන්/චමිල/අවුටා ඇතුළු අහිංසක මනුශ්‍ය ප්‍රාණින් පිරිස සිනමාව ගැන ක්‍රමවත් හැදෑරීමක් කල හෝ සිනමා විචාරකයින් හෝ නොවන සාමාන්‍ය සිනමා රසිකයන් පමණක් බවද ප්‍රකාශයට පත්කොට සිටිමු.

    අන්න ඒක තමා මේ ලියමනේ වටිනාකම තවත් වැඩි වෙන්න හේතු වෙන්නේ..!

    ReplyDelete
  6. මට නම් ඇත්තටම තවම බලන්න බැරි වුණා... නොබලා යමක් කියන එක හරි මදිනේ... බලලම කමෙන්ට් එකක් දෙන්නම්....

    ReplyDelete